Thursday, November 19, 2015

"මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ"

"හීන දකින අප්පච්චී කලුවර නපුරුයි....රෑ කලුවර නපුරුයි"

සැබැවින්ම අප්පච්චිලා හීන දකින්නෝය. මව්වරුන් තරමටම සිහින දකින්නෝය. තම දරුවාගේ දියුණුව, ශුභ සිද්ධිය පිලිබඳ දෑස් අයා බලා සිටින්නෝය. ඒ අප්පච්චි සිංහළද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද යන්න හෝ ඒ අප්පච්චි කොළඹද, නුවරද, අනුරාධපුරයේද, අම්පාරේද, යාපනයේද, මන්නරමද යන්න හෝ ඒ අප්පච්චි දවසට ලක්ෂයක් හොයනවද අමාරුවෙන් රැපියල් දෙසීයක් හොයනවද යන්න හෝ මෙහිදී වැදගත් නොවන බව ඔබ මම හොදින් දන්නා අත් විඳ ඇති කරුණකි. ඒ කුමන කරුණක්වත් නොසලකා ඒ හැම අප්පච්චි කෙනෙක්ම තම දරුවන්ගේ අනාගතය පිළිබඳ සිහින දකිති.

මෙම පද පේලිය, මෙම ගීතයේ අවසන් පද පේලිය වුවද මගේ අදහස පටන් ගැනීමට සුදුසුම තැන එය බව මට සිතෙන්නේ මේ ගීතය අසන අසන වාරයක් පාසා මෙහි අලංකාරම පද පේලිය මෙය බව මගේ සිත කියන නිසාවෙනි.  මෙවන් ශුභ සිහින දකිමින් ඒ සිහින සැබෑ කර ගැන්මට දිවා රෑ වෙහෙසුණු අප්පච්චිලා කී දෙනෙක්නම් තම සිහින සැබෑ වන දිනක් නොදැක නපුරු ඝණ කලුවරේ මෙන්ම මහ දවල් ගිනි මද්දහනේද තම සිහින තුරුලු කරන් සැඟවී යන්නට ඇත්ද? ඒ අතිශය භයානක, නපුරු, අන්ධකාර අතීතය (එවකට වර්තමානය) ගීත රචකයා ශ්‍රාවක සිතට සියුම් ලෙස කාවද්දන්නට සමත් වී ඇති බවනම් නොකිවමනාය.
ගීතයක පද මාලාව තුලින් එම ගීතයට පදනම් වන පරිසරය පිළිබඳ ශ්‍රාවක සිතට අදහසක් දැනවිය හැකිනම් එය විශිෂ්ඨ බව මගේ හැඟීමයි. එවන් විටෙක ගීතයකට අමුතුවෙන් විශුවල් අවශ්‍යය නොවනු ඇත. චිත්ත රූප මවා ගනිමින් ගීය රස විඳීමට එය මනා පිටිවහලක් වනු ඇත.

"මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ - පිරිත් කියා නතර උනා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ…….මේ මැදියම් යාමේ”

ඈත රජරට මායිම් ගම්මානයක් මෙම ගීතයට පදනම සපයන බව පෙන්වාදීමට අතිශය සුදුසු පද පෙලකින් මෙම සුන්දර ගීතයේ ඇරඹුම සනිටුහන් වේ. පසුගිය දශක කීපය තුල තම ජීවිතය ගෙවූ ප්‍රාණියෙකුට යුද්ධය පිළිබඳ අමුතුවෙන් චිත්ත රූප මවා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව සැබෑය. යුද්ධයේ කුරිරු බව ඒ තරමටම අපිද අත් විඳ ඇත්තෙමු. රට මැද දිවි ගෙවූ අප යුද්ධයෙන් එලෙස බැට කා ඇති තත්ත්වයක් තුල ඈත රජරට මායිම් ගම්මාන වල දිවි ගෙවූවන්ගේ ජීවිත වල දුඃකිතබව කෙතරම් වන්නට ඇත්ද?

මෙවැනි ගම්මානවල ප්‍රවාහනය අතිශය දුෂ්කරය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ප්‍රවාහන පහසුකම් දුෂ්කර මෙන්ම භයානකය. ඔවුන්ට තිබුනේ ප්‍රවාහන පහසුකම් වලට වඩ ප්‍රවාහන අපහසුකම්ය. මේ ගම්මානයට රාත්‍රීයේ පැමිණීමට ඇති අවසාන බස් එක මේ මන්නාරම් බස් එකයි. ඒ එන්නේත් බෝම්බ වෙඩි හඬ මැද්දෙන් වන කල රජරට සේවයද නතර වුණ රෑ මැදියම දක්වාම බස් එක නොපැමිණීම වැඩිහිටියෙකු වුවද බිය ගන්වනු නොඅනුමානය. එවැනි තත්ත්වයත් තුල අප්පච්චී ගෙදර එන තුරු බලා සිටින මේ පුංචි පැටවුන්ගේ සිතිවිලි ගැන සිතන්නේවත් කොහොමද?

“වන්නි වනන්තරේ නපුරු යුධ ගිණි පුපුරයි - අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි”

තත්ත්වය තවත් දරුණුය. මේ සිඟිත්තන්ගේ අම්මාත් ඔවුන් හැර ගොස්ය. ඇයද මා පෙර සඳහන් කළ අප්පච්චිලා මෙන්ම තම දරුවන් ගැන වූ ශුභ සිහින තුරුලු කරන් ජීවිත රඟ මඩලෙන් සමුගෙන ගොස් ඇත. එයටද කුරිරු යුද්ධය වග කිව යුතුද නැතිද යන්න ගී පද රචකයා අපට නොකියන්නේ ඒ පිළිබඳ අපට සිතීමට ඉඩ තබමින්ය. දරුවන්ගේ අත්තම්මා හෝ සීයා හෝ ඒ දෙදෙනාම හෝ ඔවුන් සමඟ තම දරුවා එන තුරු බලා සිටිනවා විය හැක. නමුත් තමන්ගේ අප්පච්චී ගෙදර එනතුරු පවතින දෙගිඩියාව සහ යුද්ධය විසින් උදුරා ගනිතැයි බියෙන් පසුවන ඒ ආදරය ඔවුන්ගෙන් පිරිමැසිය හැකිද? එය අතිශය භයංකාර සිතිවිල්ලකි.

“සන්හිඳ ලඟ දේවාලේ යාතිකා ගොලුයි - චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි
නූල් පොටක් නැති අහසේ කලුවර පමණයි.... රෑ කලුවර පමණයි”

රාත්‍රීයේ බියකරු බව තවත් තීව්‍ර කිරීමට පද රචකයා මෙහිදී සමත් වී ඇත. දේවාලේද යාතිකා ගොලුවී ඇත. චෙට්ටියාර්ගේ කඩේ පත්තුකර තිබූ පහනද නිවෙන්නට ආසන්න බැවිනි. අහසද කලුවර වී ඇත. රජරට අහස මහ වැසි කාලයකදී මිස තරු එලියක්වත් නොමැතිව අන්ධකාර විය හැකිද? පද රචකයා මේ තතනන්නේ දරු පැටවුන්ගේ අප්පච්චිට කරදරයක් වී ඇති බව කියා ගත නොහැකිවද?

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

දිනූෂ ජයසිංහ | 2015.11.18 | http://sondurusithuwili.blogspot.com

Sunday, October 11, 2015

සද නොදුටු පාලු රැය
හිස හොවා මා උර මත
නලලත සිප සනසන්නට
වරම් නොලද සද
සිතින් තැවී පලක් වෙද
                  Dinusha
                  09.10.2015