අඬ අඬා හිත යටින් සිනාසෙන මුත් පෙනෙන්නට පිටට
නුඹ දන්නවා මා හඬන වග යාන්තන් දැක්කත් මුහුණ
තද කරන් හිත නුඹ ඉන්න දැනුනත් දුකක් විටෙක
කියා දෙනවද හැකිනම් මටත් ඒ නුඹ ඉන්න විදිහ
ඉරි තලා සිඳෙන'යුරු මහ පොළොව වුව විටෙක
වියළිලා ගිහින් ඇස කඳුළු කෝ දැන් දුකට
ඉකි ගසා හඬන විට නෑසෙන්න හඬ පිටට
හිස වටා විදුලි ගිණි පුපුරණවාද කොහෙද
මහ කඳුත් නාය යයි දරාගත නොහැකි අවසන
ඉතින් මම, මගෙ හිත කවුද ඒත් ඒක්කල බැලුවම
සිනාසී නුඹ බලා ඉන්නවා සිහිනයක මම දැක්කම
හිත සසල වී රිදෙන අන්දම පුදුමයක් නැහැ නේද
උඩහ පැත්තට වැහි වැටෙන විට ගඟ දෝරෙ යයි රුදුරු
පහළ වතු පිටි ඉවුරු බිඳිමින් ගලා යයි හැකි අයුරු
කුණාටුව මැද මටත් හැකිනම් එලෙස වන්නට රුදුරු
ඒත් කොහොමද මතක් වෙන්නෙම නුඹෙ සිනා මුව සොඳුරු
සමහරු
ඉවසලා ඉවසලා අවසන
ජීවිතය හැර ගියහ
තවත් සමහරු
පිස්සන් බවට පතව
අනෙකා එන තුරා
තවමත් මග බලා සිටින්නෝය
තවත් සමහරු
කිසිවක් සිතාගත නොහැකිව
මග නැවතී සිටින්නෝය
ඇත්තේ පෙර කී අවස්ථා දෙක පමණි
නුඹ නොමැති දවස්
තිබුණාද මතක නෑ මෙතෙක්
නුඹ රැඳුණු හිතත්
නුඹ කොහිද ඇසුවෙ නෑ තවත්
තනිව සිහිනෙකවත්
සිතන්නත් බය හිතෙන හවස්
පිරී හිස්වෙන වීදුරු
කෙලෙස දුරුකරයිද හිඩැස්
කොතැන හෝ ඉඳ අදත්
හිනැහෙන්න සිත තුටින්
විඳින විට ජීවිතය ටිකක්
විඳවීම් අමතකව යන ලෙසින්
කඳුළු සිරවුණු දෙනෙත්
සොයන විට නුඹ කොතක්
ඇය තුටින් නම් ඉතින්
කඳුළු (මට) වද නොඳී ඉඳපන්