Monday, July 18, 2022

 ඔබ හෙමින් සැරේ ආවා

ඔබ සැනින් ඉගිල වෙන් වූවා

ආදරේ අර්ථ විරහිත

දුක ශේෂ වන

හිස් වචනයක් කියා

කියාදී නුඹ ගියා


කවදාක කොතැනක හමුවේද අප ආයේ

ඒ මුණ ගැහීමම වේදනාවක් වේවී

දාහයක දැවී සුන්වී යාවී

සුසුම් සිරවී ආයෙ අප මිය යාවී

සුසුම් සිරවී ආයෙ අප මිය යාවී


නුඹ තනා ගිය හිස් අවකාශයේ පාවී

අප සිනාසුණු තැන් වේදනාවෙන් ගයමී

මතක එකිනෙක් මතුව ඒවී

සුසුම් සිරවී ආයෙ මා මිය යාවී

සුසුම් සිරවී ආයෙ මා මිය යාවී

Tuesday, May 31, 2022

ආදරය නමින් යමක් ඇති බව කියා දී ඔබ යන්න යන වගයි

ආදරය නමින් කිසිවක් නැති බව කියා දී ඔබ යන්න යන වගයි

ආදරයට කළ නොහැක්කක් නැති බව කියා දී ඔබ යන්න යන වගයි

ආදරයට කළ හැක්කක් නැති බව කියා දී ඔබ යන්න යන වගයි


මම තවම නුඹ වෙනුවෙන් තැවෙමි, මග බලන් ඉමි, විඳවමි, නුඹ සුවෙන්දැයි අසමි

නුඹ මා ඇතැර, ගල් වූ හදින්, නෑසූ කන්ව මගේ වේදනාවන් රසවිඳී......

හිත පාර පාරා වේදනාවන් රසවිඳී.......

Tuesday, May 24, 2022

රිදුම් දෙන මුත් තවමත් ගැහෙන හදවත

ගලවා රැගෙන රුධිරය පිරුණු දෑතට 

නුඹට පෙන්වමි මදකට ගන්න ලඟට

මට අවැසියි නුඹ සුරත මත මියෑදෙන්න

Monday, May 23, 2022

බුර බුරා නැගෙන විට හදවතේ සෝ ගින්න අහසටත් ඉහලින්

අඬ අඬා යදිනු මිස වෙන කුමක් කරම්ද ආදරය නුඹගෙන්

හිත හිතා හිත රිදුම් සතුටක්ව නුඹට අද මේ විලසින්

වහ වහා දිය බිඳක් දෙන්න ගිණි නිව්මට නගෙන හදේ විගසින්

Sunday, May 22, 2022

අතු පතර විහිදුන මහා නුග රුකකි ආදරය 

උගුළුවා හල නොහැක අතු පතර කපා හළ මුත් නුඹ තනිවවම

වේදනාබර මතකයන් විටින් විට පාරමින් හද දවන සඳ

නුග රුකෙහි මූළයන් තදින් ඔබ වෙත බැඳී හඬයි තැවෙයි නුඹටවත් නොපෙනෙන ලෙස


අතීතය කියා ඇති යම් කිසි දෙය මහ වේදනාවක් නේද

මට නොකීවට නුඹටත් යන්තමින් හරි ඒ බව දැනෙනවා ඇති නේද

හැකි වුනෝතින් වෙන් කරන්නට යලිත් නොබැඳෙන ලෙස අතීතය සහ වර්තමානය

ඒත් මං හිතන්නෑ විසඳුමක් ඇති බව, අපි වගේ හිතින් හරි බැඳිල ඇති අතීතය සහ වර්තමානය


මෙන්න මෙච්චරක් කියල හරි පෙන්නන්න පුළුවන් උනානන් හදවතේ ඇති වේදනාව

මම දන්නවා ඔය ඇස් පිටුපාන්නෙ නැති බව ආදරය ගාව

ඉඩෝරය මැද මියැදෙන්න පණාදින වේලිච්ච නුග පැලයකට

දිය බිඳක් කියන්නෙම මහමෙරක් තව මොහොතක් හරි ජීවත් වෙන්න

Friday, May 20, 2022

ඔබ "නාස්ති" කරගත් වසර කීපය

මම ජීවත් වුණෙමි

ස්තූතියි නොකියමි

පිං දෙමි!

Saturday, April 30, 2022

මලක් මෙන් නියඟළා හැඩ පිරුණු

රුව දුටිමි හැඩ දකිමි මන බැඳුණු

විතක් මදු පිරූ විට මෙන් දැනුණු

සුසුමකින් පමණක්ම සිත පිරුණු


බිතක් මත ඇඳි රුවැති අප්සරා

කටු පිරුණු නටුවෙ රැඳි රුව අරා

මුදු සිනිදු පෙති වර්ණ තවරලා

හිමි-අහිමි තිළිණයක සිරකළා


සාංකා පිරී රෑ තරු ගනිම් තනිවම

දෙතොළ රැඳි දුම් රොදක් තනි රකින

දෙතැන හිඳ හදවතින් පෙම් කරන

එකම රිදුමක් නොවෙද හද පෙළන

Monday, April 25, 2022

 කැකෑරෙන ලෝදියක 

නුඹ මාව ගිල්ලවා

සමාවෙන්නට කියා ඉල්ලුවා


කියාගත නොහැකි තැන

ඉකි ගසන හද වසා

ආදරේ පමණක්ම පැවසුවා


නුඹ එගොඩ මා මෙගොඩ

නෙතින් නෙත හිනැහෙමින්

ඉන්න තිබුණා නේද කියවුණා


කැකෑරෙන ප්‍රේමයට 

දාහයට සුව දෙමින්

නුඹෙ සිනා මුව යලිත් සිහිවුණා

Thursday, April 21, 2022

 "ආදරේ කරන්න ඕනෙ කිසි දෙයක් ආපිට බලාපොරොත්තු වෙන්නෙ නැතුව...."


ඔහොම කිව්වට ඇත්තටම එහෙම ආදරේ කරන්න පුලුවන්ද? මාත් ඔහොම කියල ඇති. ඒත්....


අපි කොච්චර ආසද අපි ආදරේ කරන කෙනා අපි ගැන හොයල බලනවනන්, නිතර කතා කරනවනන්, පරිස්සමින් ඉන්නවද බලනවනන්, බේත් ටික බිව්වද අහනවනන්, මතක් කරනවනන්, සතුටින් ඉන්නවනන්, හොඳට ඉගෙන ගන්නවනන්, කිසිම කරදරයක් නැතුව ජීවත් වෙනවනන්.....


ලොකු වටින දේවල්, මිල මුදල් වලින් මනින දේවල් බලාපොරොත්තු නොවුනට ඔය මම කලින් කියපු දේවල් ලැබෙනවට අපි කොච්චර ආසද. 


ජීවිතේ කොයිම හරි දවසක මට සතුටු වෙන්න පුලුවන් හැටි තමයි ඒ...., ඒ සේරම නැතත් .... ආදරේ කොතන හරි සතුටින් හිනා වෙලා ඉන්නවනන්, ඒ මට ඇති. මොකුත් ඕනෙ නෑ කිව්වට ඕනෙ නැත්තෙම නෑ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ. ❤️


...... .....

Wednesday, April 20, 2022

හෙටටත් වඩා සතුටුම දවස අද

ආදරේ ඉතිරුණ මිහිරිම දවස අද

ඇය හඬන විට හිනැහුණු දවස අද

සතුටට කඳුලු වගුරපු දවස අද


❤️ ආදරෙන්

Thursday, February 10, 2022

අඬ අඬා හිත යටින් සිනාසෙන මුත් පෙනෙන්නට පිටට

නුඹ දන්නවා මා හඬන වග යාන්තන් දැක්කත් මුහුණ

තද කරන් හිත නුඹ ඉන්න දැනුනත් දුකක් විටෙක

කියා දෙනවද හැකිනම් මටත් ඒ නුඹ ඉන්න විදිහ

නුඹ හිතට එන විට දැනෙන දුක මෙබඳුය

ඉරි තලා සිඳෙන'යුරු මහ පොළොව වුව විටෙක

වියළිලා ගිහින් ඇස කඳුළු කෝ දැන් දුකට

ඉකි ගසා හඬන විට නෑසෙන්න හඬ පිටට

හිස වටා විදුලි ගිණි පුපුරණවාද කොහෙද


මහ කඳුත් නාය යයි දරාගත නොහැකි අවසන

ඉතින් මම, මගෙ හිත කවුද ඒත් ඒක්කල බැලුවම

සිනාසී නුඹ බලා ඉන්නවා සිහිනයක මම දැක්කම

හිත සසල වී රිදෙන අන්දම පුදුමයක් නැහැ නේද


උඩහ පැත්තට වැහි වැටෙන විට ගඟ දෝරෙ යයි රුදුරු

පහළ වතු පිටි ඉවුරු බිඳිමින් ගලා යයි හැකි අයුරු

කුණාටුව මැද මටත් හැකිනම් එලෙස වන්නට රුදුරු

ඒත් කොහොමද මතක් වෙන්නෙම නුඹෙ සිනා මුව සොඳුරු

Monday, February 7, 2022

600 වෙනි සටහන

සමහරු 

ඉවසලා ඉවසලා අවසන

ජීවිතය හැර ගියහ

තවත් සමහරු

පිස්සන් බවට පතව

අනෙකා එන තුරා 

තවමත් මග බලා සිටින්නෝය

තවත් සමහරු

කිසිවක් සිතාගත නොහැකිව

මග නැවතී සිටින්නෝය

ඇත්තේ පෙර කී අවස්ථා දෙක පමණි

Saturday, February 5, 2022

දන්නවද මැණික

නුඹ නොමැති දවසක පරිමාව

ලීටර්ම තුන හමාරක් විතර

බීර විතරක් මත් වෙන්න

සිහියෙන් කොහොම ඉන්නද

කඳුලුවත් හෙලන්න නොහැකි විට

මං මෙහෙම කිව්වට

"එහෙම නෑ ඔය බොරු වෙන්න ඇති"

මගෙ මැණික එහෙම හිතන්න....

Friday, February 4, 2022

නුඹ නොමැති දවස්

තිබුණාද මතක නෑ මෙතෙක්

නුඹ රැඳුණු හිතත්

නුඹ කොහිද ඇසුවෙ නෑ තවත්

තනිව සිහිනෙකවත්

සිතන්නත් බය හිතෙන හවස්

පිරී හිස්වෙන වීදුරු 

කෙලෙස දුරුකරයිද හිඩැස්

කොතැන හෝ ඉඳ අදත්

හිනැහෙන්න සිත තුටින්

විඳින විට ජීවිතය ටිකක්

විඳවීම් අමතකව යන ලෙසින්

කඳුළු සිරවුණු දෙනෙත්

සොයන විට නුඹ කොතක්

ඇය තුටින් නම් ඉතින්

කඳුළු (මට) වද නොඳී ඉඳපන්

Wednesday, February 2, 2022

එකින් එක එකතු කර 

මතකයන් අපි හිනැහුණ ඉඳහිට

වීසි කරමි ආයෙත්

නොදකින්න කිසි දින


මතකද අඬපු දුක්වුණ තැන්

ලන්කර ගනිමි පරිස්සමට 

මා ලඟම මා සමඟ 

මියෙන තුරු හැමදාටම


නමුත්,


හිනැහුණු හැඬූ මතක සියල්ලම

විසි කර දමනු මැන

නැවත මතකයටවත් නේන්නම

මතකයන් නුඹ ලඟ තිබිය යුතු නැත

Friday, January 21, 2022

 බිඳී විසිරුණු මතක

ඇහිඳින්න වෙරදරන මොහොතක

නුඹ ඇවිත් ආයෙම ආයෙම

වලක්වන'යුරු දරුණු විලසින්

Thursday, January 20, 2022

සිත බිඳුණු දිනෙක මතකද

සීරුවට පිරිමැද 

බිඳුණු සිත සිත්තම් කළ'යුරු නුඹ

නුඹම සැනසූ සිත

තලා පෙලා රිදවා අඩපණ කොට

නුඹ ඉන්න අපූරුව අද

ජීවය නුඹයි 

නුඹේ මුදු වදන් සිත නිවයි

අතීතය සොඳුරුයි

නුඹ නොමැති හෙට අඳුරුයි

Wednesday, January 19, 2022

 මතු යම් දිනෙක 

ඔබ හඬා වැටෙනු ඇත 

සමහරවිට

නමුදු ඔබ එලෙස

හඬා වැටිය යුතු නැත

මතු දිනෙක

ඔබ මා අතැර මගහැර

අතරමං කර ගිය දිනය

මතකද එදින

එයයි මා මියගිය දිනය

ඔබ සිනාසී හිනැහුණු 

ඒ දිනය

එයයි මා මියගිය දිනය