Thursday, December 28, 2017

දුවෙක් කියන්නෙත් පුතෙක් (දුවගේ මඟුල් දා පියෙකුගේ සිතුවිල්ල)


දුවෙක් කියන්නෙත් පුතෙක්

(දුවගේ මඟුල් දා පියෙකුගේ සිතුවිල්ල)

රසට වැඩියෙන් ගුණ සොයා
ආදරෙන් බත් පත බෙදූ
අප්පච්චි මට ආදරේදැයි
මුවින් නොදොඩා'මුත් ඇසූ
ජීවිතේ මේ යැයි කියා දී
ආදරේ හැටි මට කියූ
මගෙ "පුතේ" මගෙ ලෝකයම වූ
නුඹට ජයසිරි මංගලම්!

වාසගම මගෙ නැවතුනත්
දුවෙක් කියන්නෙත් පුතෙක්
පුතුන් නැති මට පුතෙක්
පුතුන් සිටියත් තව පුතෙක්

Wednesday, December 27, 2017

උබත් එකෙකි

උබත් එකෙකි
දැනගන්
ඇගිලි ගනිනා
නොඉවසිල්ලෙන්
ඒ දිනය
මග බලමින්
මගේ මරණය
මග බලමින්
(වටපිට බලන්න එපා. ඔයාට තමයි කිව්වෙ.)

Dinusha
2017.12.27

Wednesday, December 20, 2017

“සුන්දර” ඉරිදා



සුන්දර ඉරිදා

එකම එක අඹ ගහයි - ඇත්තෙ මුළු වත්තටම
                                    කෑ ගසා ඉකි බිඳින - පොඩි එකෙක් නැති කිරට

සුදු පරෙවි ජෝඩුවක් - වහල උඩ පෙම් කෙළින
                                     ඇන්ටනා කණු පෙනේ - නැතුවාට ගස් බෝම

ෆෑන් එක චිචිරි චිරි - හඬ නගන තිස්සේම
                                      කෙට්ටු පඬි හැලී ගිය - බැළලියක් නිදි සැපට

පයිප්පය ලඟ ගෑණු - පොරකමින් දිය බිඳට
                                     කොලොම්පුර සිරි දකින - මගෙ දෑස් පිංකාර


   වැඩ නොමැති ඉරු දිනෙක - කොළඹ බෝඩිං දිවිය

දිනුෂ ජයසිංහ
                                                                         2009.04.02

Tuesday, December 19, 2017

පිච්චෙන්න ඇරපන්

දැවී අලුවී
යනතුරු රුදුරු ගින්නෙන්

ඔහොමම ඉන්න
තද කරන් හිත හයියෙන්

ආදරය
ගිණි නිවන නිසාවෙන්

අහසටම යනකන් ඉන්න
දුම් රොටු චිමිනියෙන්

පිච්චෙන්න ඇරපන්
කතා නොකරම
නොදුටු විලසින්



Monday, December 11, 2017

හිතෙන්නැති හැටි එහෙම.....

මට තිබුණෙ හැමදාම
මගෙ සතුට පමණක්ම
බෝ සමිදු ලඟ වැටී
ඉල්ලන්න.....

ඒ උනත් ඉල්ලුවේ
ඔබෙ සතුට පමණක්ම
බිඳක්වත් අඩු නොකර
මට දෙන්න.....

ඔබෙ සතුට නොඉල්ලා
මගෙ සතුට පැතීනම්
අදත් මම සතුටින්
ඔබ දුකින් හිටියාට.....

ඒත් කවදාකවත්
හිතෙන්නැති හැටි එහෙම.....