Tuesday, March 26, 2019

ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසිය - අසන්ධිමිත්තා

ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසිය - අසන්ධිමිත්තා

අප සියලු දෙනා අඩු වැඩි වශයෙන් ෆැන්ටසිවල ජීවත් වන අතර එලෙස ජීවත් වීමට ආශා කරන්නෙමු. එම ෆැන්ටසීන් තම සමීපතමයන්ට වුව හෙලි කිරීමට මැළි වුව ද ෆැන්ටසියෙන් මිදී රියලිටිය තුලට පැමිණීමට උත්සාහ කිරීමටවත් අපි අකමැති වන්නෙමු. ෆැන්ටසීන් අපගේ පාලනයට යටත්ය. ෆැන්ටසීන් තුල ඇත්තේ අප ආශා කරන දේ පමණකි. නමුත්, රියල් ජීවිතය අපට නතු නැත. අපගේ පාලනයෙන් තොරය. එසේත් නැත්නම් අපගේ පාලනයට නතු කොට ගැනීම අතිශය අපහසුය. කැමති අකමැති සියලු දේට අකමැත්තෙන් වුව මුහුණ දිය යුතුම ය. එබැවින් රියල් ජීවිතයේදී අපට ලැබෙන අප කැමති දේ සමඟ සතුටින් ද, අකමැති දේ සමඟ අසතුටින් ද ජීවත් වන අතරතුර වඩාත් කැමති දේ පමණක් ෆැන්ටසියකට ගොනු කොට ඒ තුළ ජීවත් වීමට අපි පුරුදු වී සිටිමු. රියල් ජීවිතයේ ලැබෙන ඉස්පාසුවක දී ෆැන්ටසියේ චරිත සමඟ දොඩමළු වන්නෙමු, ජීවත් වන්නෙමු. එම ෆැන්ටසිය රියලිටිය සමඟ නොගැටීමට වග බලා ගන්නා තාක් කල් ඒ සඳහා කිසිවෙකුගෙන් බලපෑමක් සිදු නොවනු ඇත.  ෆැන්ටසිය තුළ රියල් ජීවිතයේ මෙන් එකෙකුට හෝ එකියෙකුට පමණක් ආදරය කළ යුතුයැයි සීමා පනවන්නට කිසිවෙකු නැත. ඔබට ඕනෑ තරම් පිරිසකට ආදරය කිරීමේ අවස්ථාව ෆැන්ටසි ලෝකය තුළ හිමිය. අසන්ධිමිත්තා (නිල්මිණි සිගේරා) තම ආශාවන් සන්තෘප්ත කර ගැනීමට උත්සාහ දරන්නේ ද එවන් ෆැන්ටසි අවකාශයක් තුළය.

විටෙක මෙය අසන්ධිමිත්තාගේ කතාව ද එසේත් නැතිනම් පිරිමින්ගේ කතාවක් දැයි වටහා ගැනීම අපහසුය. රියල් ජීවිතයේ දී තම බිරිඳ, ආදරවන්තිය, සහෝදරිය තමන්ගේ රූකඩයක් වනු දැකීමට බොහෝ පිරිමින්ට සිදුව ඇත. එය පිරිමින්ගේ කැමැත්තම ද එසේත් නැත්නම් සමාජය විසින් පිරිමියා මෙහෙයවා ඇති තැන දැයි වටහා ගත යුතුව ඇත. කෙසේ වුවද සැබෑ ආදරයක්, ලෙන්ගතුකමක්, ස්පර්ශයක් අභිමුව රූකඩයක් වීමට ද පිරිමියා අකමැති නැත. නමුත් රියල් සමාජය තුල පිළිගන්නා "අගනාකම්" තුල එවැන්නකට ඇති ඉඩකඩ අල්පය. ගැහැණියකගේ රූකඩයක් වන පිරිමියා බාහිර සමාජයට සෑම විටකම පාහේ ද අවස්ථානුගත සිද්ධීන් මත සමහර අවස්ථා වල එම ගැහැණියටම ද නපුංසකයෙකු ලෙස දිස් වීමෙ වැඩි ඉඩකඩක් පවතී. එසේ වුවද අසන්ධිමිත්තා සමඟින් අපට හමුවන විකීලා  (ධර්මප්‍රිය ඩයස් සහ ඩබ්ලිව්. ජයසිරි) නියෝජනය කරන්නේ ගැහැණියකගේ රූකඩයක් වීමට අකමැත්තක් නොමැති පිරිමින්ගේ කුලකයයි. නමුත් ඔවුන් රූකඩයක් වන්නේ සිහින් සිරුරැති, අගනා රූ සපුවකින් හෙබි, පතිවෘත්තාවෙන් අග තැම්පත්, සුකුමාල තරුණියකට නොව, “රාත්තල් තුන්සීයකට වඩා බර, කසාද දෙකක්ම කැඩිච්ච, අවුරුදු තිස් අටක ගැහැණියකට” ය.

“මට ඕනෙ පිරිමියෙක් කියල කවුරු හරි රූකඩයක්...මේ එක එකාලගෙ කටවල් වහන්න...ඔයා මට රූකඩයක් වෙනව නේද?”
“හා.... මං ඔයාට රූකඩයක් වෙන්නන්....”

ඒ රාත්තල් තුන්සීයේ ගැහැණිය එම ෆැන්ටසි ලෝකයට අතිශය ප්‍රියතාවයක් දක්වයි. කොටින්ම ආදරය නොඅඩුව ලබා දෙන විකීට මෙන්ම, වැඩිය දඟලන්න ආවොත් අඟල් අටම මස් පර්වතේ ඇතුලට බස්සන බවට තර්ජනය කරන විකීට ද ඇගේ ලෝකය තුළ ඉඩ ඇත. තම ජීවිතය තුළ කිසිදු පිළිසරණක්, පිළිගැනීමක්, ආදරයක් නොලැබූ, නිරතුරු සමාජයේ ගැරහීමට ලක්වන්නා වූ තැනැත්තියකගේ ෆැන්ටසි ලෝකය තුළ ඇයගේ ජීවිතයට යම් හෝ පිළිගැනීමක් ලබා දෙන පුද්ගලයකුට පවතින ඉඩකඩ එබඳුය. ඒ ඇය ආශා කරන විදිහ විය යුතුය. පැමිණෙන නොයෙක් කම්කටොළු වලට ද ඇය "සතුටින්" මුහුණ දෙයි.
ඇය ෆැන්ටසිය තුළ හෝ විකීලා වෙනත් ගැහැණියකට ලංවීම නුරුස්සයි. එවැනි අවස්ථා කඩාකප්පල් කිරීමට උපරිම වෙර යොදයි. ජීවත් වන ෆැන්ටසි ලෝකය තුල එය වඩාත් පහසුය. එවැනි ලෝකයක් තුළ කතාව ගොඩ නගන්නේත් කතාව ගලාගෙන යන්නේත් කතාවේ අවසානය තීරණය කරන්නේත් තමාමය. ත්‍රිත්ව මිනීමැරුමකට වුව සම්බන්ධවීම එතරම් අපහසු නැත. මවාගත් ලෝකයක ජීවත් වීම එතරම් "විචිත්‍රය".

අසන්ධිමිත්තා ගේ ෆැන්ටසි ලෝකය තුළ පමණක් නොව සෑම විටම ගැහැණුන් මෙබඳු ය.

"ඕගොල්ලො හරී….කැමතියි නේද ගෑණුන්ගෙ කතා අහගෙන ඉන්න"

චිත්‍රපටයේ එන චිත්‍රපටකරුවාගේ (ශ්‍යාම් ප්‍රනාන්දු) බිරිඳගේ (යශෝධා විමලධර්ම) නුරුස්නා බසින් පවසන්නේ එයයි. ගැහැණුන් තුන් දෙනෙකු මැරූ මහ විශාල ශරීරයකින් හෙබි, පාසල් කාලයෙන් පසුව කිසිඳු සබඳතාවක් නොතිබූ අසන්ධිමිත්තාගේ කතාව පසුපස ඔහුට යාමට සිදු වන්නේ ද තම බිරිඳගේ දැඩි ප්‍රතිරෝධය මධ්‍යයේය.

මෙම චිත්‍රපටය ගිය වසරේ ස්වර්ණ පුස්තකය ලෙස සම්මානයට පාත්‍ර වූ “අප්පච්චි ඇවිත්” කෘතියේ රචක සමන් වික්‍රමාරච්චිගේ “අසන්ධිමිත්තා” කෙටි නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මා එය මෙතෙක් කියවා නැත. එබැවින් මෙහි අන්තර්ගතය සසඳා බලා වඩා හොඳ නව කතාව ද චිත්‍රපටය දැයි විමසා බැලීමේ හැකියාවක් මා හට නැති වීම වාසනාවකි. කෙසේ වුවද සිනමාවේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ප්‍රේක්ශකයෙකු වශයෙන් වුවද, මෙය මෑතක සිංහල සිනමාවේ බිහිවූ විශිෂ්ඨ නිර්මාණයක් බව නම් කිව යුතුය.

අසන්ධිමිත්තා මහජන ප්‍රදර්ශනයට මුදා හැර තවමත් දින කිහිපයකි. එබැවින් තව තවත් විස්තර පැවසීම එතරම් සුදුසු නැත. සිය ප්‍රථම සිනමා රංගනය ඉදිරිපත් කරන නිල්මිණි සිගේරා අසන්ධිමිත්තාගේ චරිතය තුල ජීවත්වන ආකාරය, හැඟීම් ප්‍රකාශ කරන ආකාරය විශිෂ්ඨය. ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු සහ යශෝධා විමලධර්ම ගේ රංගනයන් පිළිබඳ අමුතුවෙන් පැවසිය යුතු නැත. අනෙකුත් චරිත ඉදිරිපත් කරන සියළු රංගන ශිල්පීන් ද අසන්ධිමිත්තාගේ කතාව කම්පනයක් මුසු හැඟීමක් සමඟින් අපගේ මනසට ලබා දීමට සිය උපරිම දායකත්වය දක්වා ඇත. අශෝක හඳගම නම් වූ අති විශිෂ්ඨ සිනමාකරුවා මේ සියල්ල මෙහෙයවා ඇති ආකාරය අපූරුය. චිත්‍රපටයේ රූප රාමු මනසේ රැදෙමින් සිතන්නට ඉඩ සළසන ආකාරයේ ය. එබැවින්, මෙය නැරඹිය යුතුම චිත්‍රපටයකි. චිත්‍රපටය ප්‍රදර්ශනය වන සීමිත චිත්‍රපටශාලා සංඛ්‍යාවෙන් එකක් සොයාගෙන ගොස් හෝ නැරඹිය යුතුම චිත්‍රපටයකි.

සැමියන් දෙදෙනෙක්, ත්‍රිත්ව මිනී මැරුමක් හා ඒ හා සබැඳි සිද්ධි දාමයක් අසන්ධිමිත්තාගේ ෆැන්ටසිය තුළ ද, අසන්ධිමිත්තාගේ කතාව නවකතාකරුගේ ෆැන්ටසිය තුළ ද, නවකතාකරුගේ පරිකල්පනය චිත්‍රපටයක් ලෙසින් අපගේ ෆැන්ටසිය තුළ ද පෙලගස්වා ඇති අසන්ධිමිත්තා සැබැවින්ම ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියකි.

“හැබැයි රජෝ මට රෝන්දෙ යන්න හිතුනම ඔන්න මං යනවා.... කාටවත් බෑ ඒක නවත්තන්න....”

- දිනූෂ ජයසිංහ (2019.03.25)

Monday, March 25, 2019

අපි නැති අපේ කතාව

අපි දෙන්නා
අපේ කතාවෙ
ප්‍රධාන නළුවා නිළිය
හැබැයි,
ඒ කතාවෙ
දර්ශනයක් නෑ
කිසිම තැනක
අපි දෙන්න
එකට රඟපාන.....

"ඔව් ඒ ෆිල්ම් එක
අමාරුයි තේරුම් ගන්න"

Thursday, March 21, 2019

අපේ පාට හීන

හීන ලස්සන වෙන්නෙ
පාට කෙරුවමලු
ලස්සන ලස්සන පාටින්
අපිටම ඕනෙ හැටියට

හැබැයි,

හීන පාට කරන්න
පාට දෙක තුනයි
ලැබෙන්නෙ අපිට
අපි කැමතිත් නැති

ඒ උනත්,

අකමැති පාට එක දෙක
එකකට එකක් එක් කර
පුළුවන් පුළුවන් හැටියට
හදමු පාටවල් අපි කැමති

ඊට පස්සෙ,

ලස්සනම ලස්සන නැතත්
පාට කරමු අපේ හීන
අපි හදපු අපේ පාටින්
කවුරුවත් කැමති නැති



Wednesday, March 20, 2019

වෙරළ සඳ දියෙන් තෙමන උදයක

පහලොස්වක සඳ
වෙරළ සඳ දියෙන් තෙමන උදයක
ඔබ ගැන මතක
ගැලපුන අයුරු පුදුමයි

දහස් වර මිමිණූ
දුක්බර මසිත සැනසූ
දුකේදී දෙතොලතර රැඳවූ
"සුදු ඇඳගෙන සඳ" පැමිණි හැටි පැවසූ
ගීය මතකද සොඳුරූ

නොසිතුවෙමි කිසිදා
නොපැතුවෙමි කිසිදා
මුමුණන්න ගීය ඔබ නමින්

නමුත් මුමුණමි
ඔබ නමින්
වෙරළ සඳ දියෙන් තෙමන
පහලොස්වක දිනක උදයක

උරහිසේ හිස හොවා
ගී අසන්නට
කිසිවෙකුත් නෑ, මා තනියෙන්

Tuesday, March 19, 2019

දුක් ගී අසනු සිත් වී

මගේ ගිටාරය රැගෙන
යන්න එපා නුඹ ඈතට

තත් බිඳෙන හඬ නැතිව
ඉකි බිඳුම් සමඟින් පමණක්
ගැයෙන ගී හරි ලස්සනයි
නුඹ පැවසුවා මතකයි

දුක් ගී අසනු සිත් වී
එකම වස්තුව උදුරා රැගෙන
ඈතට නොයන් නපුරී

බිඳ දමා හෝ සියළු තත්
ගිටාරය දෙන්න ආපසු
තත් බිඳෙන හඬ නැතිව
ඉකි බිඳුම් සමගින් පමණක්
ගයන්නන් දුක් ගී........

Monday, March 18, 2019

නිහඬ

දුව පැන නටන
දෑසින් හිනැහෙන
ඉඳහිට රවන
ආයෙත් හිනැහෙන
බෑ ඉවසන්න
ඔබ ඇයි නිහඬ

Sunday, March 17, 2019

හිස් නොමැති හිස් රඟහලක

රඟහල සිසාරා බැලීමි
ඔබම මිස කිසිවෙකුත් නොදිටිමි
නොහඬා හඬන ඇස්
නොදකින්නට නොබැලීමි
හිස් නොමැති හිස් රඟහලක
රඟපෑමි
හිස් රඟහලක වෙහෙසකර රංගනය
නිමාකලහැකි දෙබසක්
පිටපතේ නොතිබෙන්න ඇති
රඟහල හිස් වුව
රංගය නවතනු නොහැක!

Saturday, March 16, 2019

ඔබ

ඔබ

මගේ ජීවය උදුරා ගනිමින්
පද පේලි ජීවයෙන් පුරවන්නී

Friday, March 15, 2019

ඉතින් ඉඩ ලද සැනින් හිනැහෙමු

දුක් සුසුම් සෝ කඳුලු අතරට
එක හිනාවක් මහමෙරක්
කටු අකුල් ගිරි දුර්ග ගමනක
පවස නිවනා දිය බිඳක්
සිනාසෙනවුන් මරා දමනට
බලා සිටිනා නොමිනිසුන්
ඉතින් ඉඩ ලද සැනින් හිනැහෙමු
නොගැලපෙන මොහොතක උනත්

Thursday, March 14, 2019

ඒ රිදුම් බල බලා හිනැහෙන්න

අලුත් දවසකට
හිරු පායන්නෙම
මා පෙළා
හද දවා
පළිගන්න
මා හඬන හැටි බලා
හිනැහෙන්න
උදෑසන හිරු කිරණ
හීන් ඉදිකටු වෙලා
හදවතට තුඩින් ඇණ
රිදවන්න
ඒ රිදුම් බල බලා
හිනැහෙන්න

Wednesday, March 13, 2019

හොරු ගෙනිහින්

මතකද ඒ රෝස පැලය
එකම එක මලක් විතරක්
හැමදාම පිපිල හිනැහිච්ච
ලස්සනම ලස්සන

මතකද ඒ රෝස මල
එක එක දවසට
එක එක පාටට
බිම බලාගෙන
හිනැහෙච්චි ලස්සන

හොරු ගෙනිහින්
අද නෑ .... රෝස පැලය

මාත් ඇන්නෙ පපුවටම

ඔව්,
මේ ඒ තුවාලය
තවම උණු ලේ ගලන
හදවත පසාරු කල

ඔව්,
එයාටත් තුවාලයි
මාත් ඇන්නෙ පපුවටම

කළුවරට කණවැළ අල්ලන වචන

මූසල රාත්‍රියක
සිහින් ඉකි බිඳුම් හඬ
මහළු විදුලි පංකාවක
චිරි චිරි හඬ එක්ක
එක්ව මවන ශෝක රසය
තනි රකින හැටි ආදරෙන්

එතරම්වත් "ගැළපීමක්"
මුලක් මැදක් අගක් නැති
මේ වචන
කළුවරට කණවැළ අල්ලාවි

දුකට ලියන පද වලට
එළිසමය පද විරිත් කුමටද?
දුක බෙදා ගන්න
ලඟ හිටියනන් ඇති

Tuesday, March 12, 2019

පරිස්සමින් ගිය වග පමණක් මට පවසන්න


අඳුරු කුටියක
දැඩි රිදුම් සහිතව
අඩපණ කොට
අතරමං කොට
අගුලු ලා සිරකොට
නුඹ
නික්ම යන අතර මග
නෙක වර්ණ මායාවන්
හමුවේවි
හැරීවත් නොබලන්න
නුඹේ රෝස සිහිනයට
පමණක්ම
නුඹ යන්න

පරිස්සමින් ගිය වග පමණක්
මට පවසන්න

ඒත්
එලෙස පවසන්නට
නුඹ ආපසු පැමිණ කොහොමද
නුඹ පැමිණියද
මා මියගොස් සිටිනු ඇත
අදුරු කුටිය තුල
දැඩි රිදුම් ඉවසාගත නොහැකි තැන

සිනිදු කඩදහියක
පරිස්සන් කල බලි රූප ටික
මගේ තනියට
තනි රකිනු ඇත...........

සතුටු වන්නට නොව

මා රිසි මට අහිමි
එකම වස්තුව
නුඹම පමණයි
අනේ
පෙනෙන මානයේ නවතින්න
සතුටු වන්නට නොව
දුක් නොවී ඉන්න

Monday, March 11, 2019

සොඳුර නුඹෙ වදනකින්

දිය පවස දුරු වේවි දිය බිඳක් ලැබුනොතින්
කුස ගින්න නැති වේවි ලැබෙන සුලු අහරකින්
දා බිඳිති වියැකේවි සිහිල් මද පවනකින්
දුක් කඳුලු වියලේවි සොඳුර නුඹෙ වදනකින්

Sunday, March 10, 2019

එපා එපා ඔබ එන්න

කවදාවත්ම බෑ මට
ඔබේ වෙන්න
ඔබ ලඟ මියෑදෙන්න

කවදාවත්ම බෑ නුඹට
මගේ නොවෙන්න
මගේ හිතින් යන්න

කවදාවත්න බෑ අපිට
අපේ වෙන්න
තුරුල්ව කඳුලු සලන්න

මා මියෑදුනු මතු දිනක
එපා එපා ඔබ එන්න
එපා එපා කඳුලු සලන්න

Saturday, March 9, 2019

කඳුලු අවසන

දෙනෙත් මේ අහපං
මේ දේ හොදින් හිතටගන්
අඬනකොට  හරි පරිස්සමින් අඬපං
කඳුලු පරිස්සන් කරපන්

තවම හෝරා කීපයයි
ඈ මා හැර ගිහින්
තවමත් හෝරා කීපයයි
නිදි නැති රැයට දෙකට
ගැලූ කඳුලු අපමණයි

ළය පැලී මා මිය නොගියොතින්
ළය කැපී රුහිරු ගලන තුවාලය සමගින්
නොදනිමි තවත් කොපමණ කළක්
ගෙවන්නට වේදැයි
වසරක් දෙකක් නොව ජීවිත කාලයක්

ඇය රැගෙන ගිය ජීවිතය
ඇය මට නැවත නොදෙනු ඇත
ඇයට මට නැවත එය දෙන්නට
කිසිවෙකුත් ඉඩ නොදෙනු ඇත
ඈ සතුට පමණක්ම පැතූයෙන්
කඳුලු පමණක්ම උරුමව ඇත

මම මුළු ලොවට වෛර කරමි
මම මුළු ලොවට වෛර කරමි
මම මුළු ලොවට වෛර කරමි
මම මටම වෛර කරමි
නමුත්,
එය කඳුලු ලෙස පමණක්ම පිට කරමි

ඉඳින් දෙනෙත්,
කඳුලු පිරිමහපං
වේදනාව කිසිදා සුව නොවෙනු ඇත
කඳුලු අවසන මා මියෙනු ඇත
ලෝකයක් සතුටු වෙනු ඇත
ඇය පමණක් දුක් විය යුතු නැත......

Friday, March 8, 2019

ගබ්සා කළ ප්‍රේමය...!!!


උන් ඇහැට විස නිසා ප්‍රේමය
පුන් කුසුම් පෙති නුදුටුවෝ
විස කටුම දැක දැක බිය විය

විස කටු වැනසුවැයි තුටු වෙමින්
මල් නටුව වනසා ගී ගැයුවෝය

විස නසනු යැයි මල් නසා
ප්‍රේමයක් උන් ගබ්සා කළෝය

                                         දිනුෂ
                               (දුක්බරම මොහොත ගලපන්න වෙහෙසෙමින්)