Tuesday, March 26, 2019

ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසිය - අසන්ධිමිත්තා

ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසිය - අසන්ධිමිත්තා

අප සියලු දෙනා අඩු වැඩි වශයෙන් ෆැන්ටසිවල ජීවත් වන අතර එලෙස ජීවත් වීමට ආශා කරන්නෙමු. එම ෆැන්ටසීන් තම සමීපතමයන්ට වුව හෙලි කිරීමට මැළි වුව ද ෆැන්ටසියෙන් මිදී රියලිටිය තුලට පැමිණීමට උත්සාහ කිරීමටවත් අපි අකමැති වන්නෙමු. ෆැන්ටසීන් අපගේ පාලනයට යටත්ය. ෆැන්ටසීන් තුල ඇත්තේ අප ආශා කරන දේ පමණකි. නමුත්, රියල් ජීවිතය අපට නතු නැත. අපගේ පාලනයෙන් තොරය. එසේත් නැත්නම් අපගේ පාලනයට නතු කොට ගැනීම අතිශය අපහසුය. කැමති අකමැති සියලු දේට අකමැත්තෙන් වුව මුහුණ දිය යුතුම ය. එබැවින් රියල් ජීවිතයේදී අපට ලැබෙන අප කැමති දේ සමඟ සතුටින් ද, අකමැති දේ සමඟ අසතුටින් ද ජීවත් වන අතරතුර වඩාත් කැමති දේ පමණක් ෆැන්ටසියකට ගොනු කොට ඒ තුළ ජීවත් වීමට අපි පුරුදු වී සිටිමු. රියල් ජීවිතයේ ලැබෙන ඉස්පාසුවක දී ෆැන්ටසියේ චරිත සමඟ දොඩමළු වන්නෙමු, ජීවත් වන්නෙමු. එම ෆැන්ටසිය රියලිටිය සමඟ නොගැටීමට වග බලා ගන්නා තාක් කල් ඒ සඳහා කිසිවෙකුගෙන් බලපෑමක් සිදු නොවනු ඇත.  ෆැන්ටසිය තුළ රියල් ජීවිතයේ මෙන් එකෙකුට හෝ එකියෙකුට පමණක් ආදරය කළ යුතුයැයි සීමා පනවන්නට කිසිවෙකු නැත. ඔබට ඕනෑ තරම් පිරිසකට ආදරය කිරීමේ අවස්ථාව ෆැන්ටසි ලෝකය තුළ හිමිය. අසන්ධිමිත්තා (නිල්මිණි සිගේරා) තම ආශාවන් සන්තෘප්ත කර ගැනීමට උත්සාහ දරන්නේ ද එවන් ෆැන්ටසි අවකාශයක් තුළය.

විටෙක මෙය අසන්ධිමිත්තාගේ කතාව ද එසේත් නැතිනම් පිරිමින්ගේ කතාවක් දැයි වටහා ගැනීම අපහසුය. රියල් ජීවිතයේ දී තම බිරිඳ, ආදරවන්තිය, සහෝදරිය තමන්ගේ රූකඩයක් වනු දැකීමට බොහෝ පිරිමින්ට සිදුව ඇත. එය පිරිමින්ගේ කැමැත්තම ද එසේත් නැත්නම් සමාජය විසින් පිරිමියා මෙහෙයවා ඇති තැන දැයි වටහා ගත යුතුව ඇත. කෙසේ වුවද සැබෑ ආදරයක්, ලෙන්ගතුකමක්, ස්පර්ශයක් අභිමුව රූකඩයක් වීමට ද පිරිමියා අකමැති නැත. නමුත් රියල් සමාජය තුල පිළිගන්නා "අගනාකම්" තුල එවැන්නකට ඇති ඉඩකඩ අල්පය. ගැහැණියකගේ රූකඩයක් වන පිරිමියා බාහිර සමාජයට සෑම විටකම පාහේ ද අවස්ථානුගත සිද්ධීන් මත සමහර අවස්ථා වල එම ගැහැණියටම ද නපුංසකයෙකු ලෙස දිස් වීමෙ වැඩි ඉඩකඩක් පවතී. එසේ වුවද අසන්ධිමිත්තා සමඟින් අපට හමුවන විකීලා  (ධර්මප්‍රිය ඩයස් සහ ඩබ්ලිව්. ජයසිරි) නියෝජනය කරන්නේ ගැහැණියකගේ රූකඩයක් වීමට අකමැත්තක් නොමැති පිරිමින්ගේ කුලකයයි. නමුත් ඔවුන් රූකඩයක් වන්නේ සිහින් සිරුරැති, අගනා රූ සපුවකින් හෙබි, පතිවෘත්තාවෙන් අග තැම්පත්, සුකුමාල තරුණියකට නොව, “රාත්තල් තුන්සීයකට වඩා බර, කසාද දෙකක්ම කැඩිච්ච, අවුරුදු තිස් අටක ගැහැණියකට” ය.

“මට ඕනෙ පිරිමියෙක් කියල කවුරු හරි රූකඩයක්...මේ එක එකාලගෙ කටවල් වහන්න...ඔයා මට රූකඩයක් වෙනව නේද?”
“හා.... මං ඔයාට රූකඩයක් වෙන්නන්....”

ඒ රාත්තල් තුන්සීයේ ගැහැණිය එම ෆැන්ටසි ලෝකයට අතිශය ප්‍රියතාවයක් දක්වයි. කොටින්ම ආදරය නොඅඩුව ලබා දෙන විකීට මෙන්ම, වැඩිය දඟලන්න ආවොත් අඟල් අටම මස් පර්වතේ ඇතුලට බස්සන බවට තර්ජනය කරන විකීට ද ඇගේ ලෝකය තුළ ඉඩ ඇත. තම ජීවිතය තුළ කිසිදු පිළිසරණක්, පිළිගැනීමක්, ආදරයක් නොලැබූ, නිරතුරු සමාජයේ ගැරහීමට ලක්වන්නා වූ තැනැත්තියකගේ ෆැන්ටසි ලෝකය තුළ ඇයගේ ජීවිතයට යම් හෝ පිළිගැනීමක් ලබා දෙන පුද්ගලයකුට පවතින ඉඩකඩ එබඳුය. ඒ ඇය ආශා කරන විදිහ විය යුතුය. පැමිණෙන නොයෙක් කම්කටොළු වලට ද ඇය "සතුටින්" මුහුණ දෙයි.
ඇය ෆැන්ටසිය තුළ හෝ විකීලා වෙනත් ගැහැණියකට ලංවීම නුරුස්සයි. එවැනි අවස්ථා කඩාකප්පල් කිරීමට උපරිම වෙර යොදයි. ජීවත් වන ෆැන්ටසි ලෝකය තුල එය වඩාත් පහසුය. එවැනි ලෝකයක් තුළ කතාව ගොඩ නගන්නේත් කතාව ගලාගෙන යන්නේත් කතාවේ අවසානය තීරණය කරන්නේත් තමාමය. ත්‍රිත්ව මිනීමැරුමකට වුව සම්බන්ධවීම එතරම් අපහසු නැත. මවාගත් ලෝකයක ජීවත් වීම එතරම් "විචිත්‍රය".

අසන්ධිමිත්තා ගේ ෆැන්ටසි ලෝකය තුළ පමණක් නොව සෑම විටම ගැහැණුන් මෙබඳු ය.

"ඕගොල්ලො හරී….කැමතියි නේද ගෑණුන්ගෙ කතා අහගෙන ඉන්න"

චිත්‍රපටයේ එන චිත්‍රපටකරුවාගේ (ශ්‍යාම් ප්‍රනාන්දු) බිරිඳගේ (යශෝධා විමලධර්ම) නුරුස්නා බසින් පවසන්නේ එයයි. ගැහැණුන් තුන් දෙනෙකු මැරූ මහ විශාල ශරීරයකින් හෙබි, පාසල් කාලයෙන් පසුව කිසිඳු සබඳතාවක් නොතිබූ අසන්ධිමිත්තාගේ කතාව පසුපස ඔහුට යාමට සිදු වන්නේ ද තම බිරිඳගේ දැඩි ප්‍රතිරෝධය මධ්‍යයේය.

මෙම චිත්‍රපටය ගිය වසරේ ස්වර්ණ පුස්තකය ලෙස සම්මානයට පාත්‍ර වූ “අප්පච්චි ඇවිත්” කෘතියේ රචක සමන් වික්‍රමාරච්චිගේ “අසන්ධිමිත්තා” කෙටි නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මා එය මෙතෙක් කියවා නැත. එබැවින් මෙහි අන්තර්ගතය සසඳා බලා වඩා හොඳ නව කතාව ද චිත්‍රපටය දැයි විමසා බැලීමේ හැකියාවක් මා හට නැති වීම වාසනාවකි. කෙසේ වුවද සිනමාවේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ප්‍රේක්ශකයෙකු වශයෙන් වුවද, මෙය මෑතක සිංහල සිනමාවේ බිහිවූ විශිෂ්ඨ නිර්මාණයක් බව නම් කිව යුතුය.

අසන්ධිමිත්තා මහජන ප්‍රදර්ශනයට මුදා හැර තවමත් දින කිහිපයකි. එබැවින් තව තවත් විස්තර පැවසීම එතරම් සුදුසු නැත. සිය ප්‍රථම සිනමා රංගනය ඉදිරිපත් කරන නිල්මිණි සිගේරා අසන්ධිමිත්තාගේ චරිතය තුල ජීවත්වන ආකාරය, හැඟීම් ප්‍රකාශ කරන ආකාරය විශිෂ්ඨය. ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු සහ යශෝධා විමලධර්ම ගේ රංගනයන් පිළිබඳ අමුතුවෙන් පැවසිය යුතු නැත. අනෙකුත් චරිත ඉදිරිපත් කරන සියළු රංගන ශිල්පීන් ද අසන්ධිමිත්තාගේ කතාව කම්පනයක් මුසු හැඟීමක් සමඟින් අපගේ මනසට ලබා දීමට සිය උපරිම දායකත්වය දක්වා ඇත. අශෝක හඳගම නම් වූ අති විශිෂ්ඨ සිනමාකරුවා මේ සියල්ල මෙහෙයවා ඇති ආකාරය අපූරුය. චිත්‍රපටයේ රූප රාමු මනසේ රැදෙමින් සිතන්නට ඉඩ සළසන ආකාරයේ ය. එබැවින්, මෙය නැරඹිය යුතුම චිත්‍රපටයකි. චිත්‍රපටය ප්‍රදර්ශනය වන සීමිත චිත්‍රපටශාලා සංඛ්‍යාවෙන් එකක් සොයාගෙන ගොස් හෝ නැරඹිය යුතුම චිත්‍රපටයකි.

සැමියන් දෙදෙනෙක්, ත්‍රිත්ව මිනී මැරුමක් හා ඒ හා සබැඳි සිද්ධි දාමයක් අසන්ධිමිත්තාගේ ෆැන්ටසිය තුළ ද, අසන්ධිමිත්තාගේ කතාව නවකතාකරුගේ ෆැන්ටසිය තුළ ද, නවකතාකරුගේ පරිකල්පනය චිත්‍රපටයක් ලෙසින් අපගේ ෆැන්ටසිය තුළ ද පෙලගස්වා ඇති අසන්ධිමිත්තා සැබැවින්ම ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියකි.

“හැබැයි රජෝ මට රෝන්දෙ යන්න හිතුනම ඔන්න මං යනවා.... කාටවත් බෑ ඒක නවත්තන්න....”

- දිනූෂ ජයසිංහ (2019.03.25)

No comments:

Post a Comment