Thursday, May 2, 2019

නුඹ කොතන සිටියට මොකද නුඹ ඉන්න වග මං දන්නවා

නුඹ කොතන සිටියට මොකද නුඹ ඉන්න වග මං දන්නවා

ඔලුව අවුල් වෙලා කිසිම දෙයක් කර ගන්න බැරි තරමට අසරණ හැඟීම් හැම වෙලාවකම ඇති වෙන්නෙ නෑ. ඒත් ඒ වගේ වෙලාවල්වල ඇහෙන සමහර සිංදු ඒ හැඟීම් දෙගුණ තෙගුණ කරනව විතරක් නෙවේ ඒ හැඟීම් මොහොතකටවත් අමතක කරන්න බැරි කරලම දානව. අනේ මන්ද. වෙලාවකට හිතෙනව ඒ ඇහෙන සිංදු කවුරුහරි මගෙ මානසික තත්ත්වය දැනගෙන ප්ලෑන් කරල මාව තවත් රිදවල විනාස කරන්න හිතාගෙන ප්ලේ කරනවද කියලත්.

සමහරවිට ඒ එයයි මමයි කතා කරපු අන්තිම වතාව වෙන්නත් පුළුවන්. හෙට ඉඳන් එයා එයාගෙම අලුත් ලෝකෙක ජීවත් වේවි. සමහර විට ඒ දුකින් වෙන්නත් පුළුවන්. ඒත් එහෙම වෙන්න එපා කියලයි හැම වෙලාවෙම මමනන් හිතන්නෙ. ඒ කෝල් එක නොගැලපෙන වෙලාවක නවත්තල දැම්මෙත් මමමයි. මම දන්නව මම අඬනව අහන්න එයා කැමති නෑ කියල. මාත් කැමති නෑ එයා අඬනව බලන්න. හිත හයිය කරගෙන ගොලු වෙලා යන්න හදන බව නොතේරෙන්න තරන් මම මෝඩයෙක් නෙවේනෙ. අනික මම එයාව දන්නෙ අද ඊයෙක ඉදල ද?

හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න කියල එයාට යන්න ඉඩ දුන්නෙ පපුව පුපුරන්න තරන් වේදනාවකුත් එක්ක. ඒක තේරෙන්නනන් ඒ අත්දැකීම තියෙන කෙනෙක්ම වෙන්න ඕනෙ ඇති. කොහොමද කාටවත් ඒ වේදනාව තේරුන් කරන්නෙ. අඩුම තරමෙ මෙච්චර මාව දන්න ඔයාටවත්.....

"මල කොතැන පිපුනට මොකද
පිපුන වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිලුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතන සිටියට මොකද
නුඹ ඉන්න වග මං දන්නවා"

මේ වගේ වෙලාවක, මෙහෙම සිංදුවක් ඇහෙනව කියන්නෙ අඩන්න ඉන්න මනුස්සයෙක්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ නෙවේද? හෙට ඉදන් ඔයා මගෙ ගාව නැතත්, කොහේ හරි ඉන්නවනෙ. ඔව් ඒක මම දන්නව. හැබැයි ඉන්න ඕනෙ හොදින්, මාත් එක්ක පිච්චි පිච්චි හිටියට වඩා සතුටින්. ඒ අලුත් ජීවිතේ විඳින්නයි ඕනෙ, විඳවන්න නෙවේ. එතකොටයි මට සතුටු නැතත් දුක හරි අඩු වෙන්නෙ. හැමදාම මම කිව්ව වගේ ආදරේ කියන්නෙ දෙන දෙයක්, ආපිට බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක් නෙවේ. ඒකයි අදටත් ඔයාගෙ සතුට ප්‍රාර්ථනා කරන්නෙ. නැතුව මට මේ තනිය විඳගන්න පුළුවන් කමකටනන් නෙවේ.

ඔය සින්දුව පටන් ගන්නෙම හරියට මොනාද කියන්නෙ කියලවත් හිතා ගන්න බැරුව ඉන්න මං වගේ. පේලියක් ඇර පේලියක්. හරියට වචන පේලියක් කියනකොට ඊලඟ පේලිය කියා ගන්න බැරිව හිරවෙන මේ මං වගේ. එච්චරකට අමාරුයි ඒ හැඟීම දරා ගන්න.

"විලේ ලස්සන තවත් විල් දියෙ මලුත් පිපුනොත් තමා
දොලේ ලස්සන තවත් දොල දියෙ පෙනත් මැකුනොත් තමා
සඳේ ලස්සන තවත් සඳ දියෙ තරුත් දිලුනොත් තමා....."

ඔව් ඒ සේරම ඇත්ත....ඒත් සින්දුවෙ මෙහෙම කියනවනෙ....

"නුඹේ ලස්සන තවත් නුඹෙ සිතෙ මාත් සිටියොත් තමා"

අනේ එහෙම නෑ මගෙ මැණික. එහෙම නෑ.... මාව අයින් කරලම දාල ඒ අලුත් ජීවිතේට යන්න. එතකොට අලුත් ජීවිතේ ලස්සන වෙයි. තමන්ගෙ ආදරේවත් පරිස්සන් කරගන්න බැරි වෙච්චි මාව ඔයාගෙ හිතේ තියාගෙන මොනව කරන්නද....ඔයා කොහොමත් ලස්සනයි. ඒ හිත ලස්සනයි. වෙන කරන්නම දෙයක් නැති තැන මේ තීරණේ ගන්න උනාට මම දන්නව ඒක මට තරන්ම ඔයාටත් වේදනාවක් දුකක් කියල. ඒත් ඒ අලුත් ජීවිතේට යන්නම වෙනවනන් මට තියෙන්නෙ පැත්තක ඉදන් බලන් ඉන්නනෙ.

පාළුම පාළු මූසල බෝඩිං කාමරේක අමාරුවෙන් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන කල්පනා කරන මේ කාලකන්නි මනුස්සයගෙ වේදනාව නිවන්න ඇඳ ගාවට ඇද ගත්තු ප්ලාස්ටික් පුටුව උඩ තියෙන බියර් කෑන් එකකටයි ඩන්හිල් පැකට් එකකටයි කරන්න පුළුවන් මගුලක් තියෙනවද? ඒ අස්සෙ මේ සින්දු......
                                  -දිනුෂ ජයසිංහ-
-------------------------------------------------------------------
"මල කොතැන පිපුනම මොකද"
ගායනය - දිපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය - සුරේෂ් මාලියද්ද
පද - අතුල ජයදේව

2 comments:

  1. මෙ ලියන්නේ ඔයාගේ ජිවිතේ ද?

    ReplyDelete
  2. කවුරුහරි එහෙම හිතනවනන් ඒකට මම කැමතියි ❤️

    ReplyDelete