Thursday, December 26, 2019

සැනසන්නවත් පැමිණෙන්න

ගිණිගෙන දැවෙන විට
මාරුතයකට බැහැ නිවන්න
ගිණිගෙන දැවෙන විට
නුඹත් නැති හැටි පැන් පොදක් ඉහින්න
ගිණිගෙන නැගෙන දුම්‍ රොටු
දුටුවොතින් හැකිවෙතොත් පැමිණෙන්න
ගිණිගෙන දැවෙන තුරු
ලඟින් ඉඳ සනසන්න

Tuesday, December 24, 2019

"සොඳුරු සියොතුන්" will broadcast on 25th @ 5pm on City fm

නොමැරී මැරී නොමැරෙන

යනෙන සැම තැන
ගොඩගැහුණු නුඹෙ මතක
නුඹ ලඟකවත් නැතුව

පපුවටම අනින සැරට
නොමැරෙන්නෙත්
නොමැරී මැරෙන්නෙත්
නුඹ හින්දමයි මැණික


Wednesday, December 18, 2019

සමාවෙන්න!

නුඹ ගැන "නොසිතාම"
පෙම් කරමි
සොයමි
තැවෙමි
විඳවමි

Thursday, December 12, 2019

හෙර, සිත සොරා ගත්

මටත් කිසිම කිසි වැඩකට නැති
හිස්ම හිස් රළු හිතක් මුදු නැති
මටත් හොරෙන් නුඹ පැමිණ නොදැනි
පුදුමයි නුඹ හොරෙන් ගෙන ගිය හැටි

හිතක් නැතුවත් මට හිටිය හැකි
පරිස්සම් හිත නුඹ ගාව, මට වැඩි
දෙතොත් කිසිත් හිතට හිළව්කළ හැකි
තිතක් විතර ආදරය, මට ඒ ඇති

Tuesday, December 10, 2019

ඔව්, රිදෙන්නෙම එතන

හයිය නෑ ඔය තරන්නම් මගෙ හිත
ඉන්න බැහැ දරාගෙන මේ තරන් දුක
හඬවන්න මේ තරම් කළ වරද කිම
රිදෙන්නෙම හැමදාම ඔබ ඉන්න තැන

Monday, December 9, 2019

ඇත්තමයි මැණික

මං නොදන්නව නෙවෙයි මැණික
ආදරේ අඩුවක් නැති බව නුඹට
නුඹ නොදන්නව නෙවෙයි මැණික
ආදරේ කොතරම්ද මං නුඹට

සිහිනයට පෙර දකින සිහින

අත දිග නැතත් නුඹ බඳ වට       දැවටෙන්න
පිං මද වුනත් නිරතුරු නුඹ දැක          ගන්න
නුඹ සිත් වුනත් මාගෙන් ඈතට            යන්න
නුඹට බැඳුනු සිත මට බැහැ          වලකන්න

හදවත ගැහෙනවා වේගෙන් නුඹ     නැතිවා
සීතල සුළං නුඹ සතුටින් ඇති              කිව්වා
ඉකිබිඳ අඬන්නත් බැහැ කඳුලුත්      නැතිවා
මූසල රැයක කළුවර මගෙ තනි        මැකුවා

බෝඩිං බිත්තියේ මං නුඹෙ රුව           ඇන්දා
හීනෙන් වගේ කම්මුල් නුඹෙ සිප        ගත්තා
මොහොතින් නුඹේ මුව නුඹ අහකට  ගත්තා
කඳුලක් දිලිහෙනව හඳ එලියට          දැක්කා

Sunday, December 8, 2019

ඔබ අභිමුව කුහුඹුවකුව

මුණගැහෙන තුරු ඔබ
සිතා සිටියෙමි මම
කිසිම දේකින් නොසැලෙන
ශක්තියක් මට හිමි බැව්

හඬා වැලපෙන තරමට
බියෙන් තැතිගෙන මා සිත
ඔබේ සෙනෙහෙ අභිමුව
කුහුඹුවකු වී ඇති හැටි

ඔබ ඔහු අතර මම

පැටලී දඟකළ දෑඟිලි ඔහු හා
අත හරුනත් ඉඳහිට නුඹ හින්දා
මඟ හැරුනේ නෑ ජීවිතේ
අරුත නුඹයි දිවියට ගෙනදුන්නේ සැමදා

අතිනත ගෙන ඔහු හා මා
පියමං කල මංමාවත් අතරින්
ඔහු හා මා අත් නුඹෙ අත් පටලන්
සවිය නුඹයි දිවියට ගෙන දුන්නේ සැමදා

විකසිත හිරු ආලෝකය දුන් දිවියට
පුන් සඳ වේ නුඹ එළිය විහිදුවන
හිමි නුඹ හිරුමය පුත නුඹ සඳු මට
ප්‍රේමිය වෙමි මම දෙදෙනා අභියස

Saturday, December 7, 2019

හිත අස්සෙ රිංගගෙන කොනිත්තන්නට එපා

ලියවෙන්නෙ නෑ කිසිත්
හදවතත් ගොලු වෙලා
කෑ ගසා හඬනු බැහැ
කඳුලු ගඟ වියලිලා
මම තවම දන්නෙ නෑ
මා ඔබේමද කියා
නුඹ තවම දන්නෙ නෑ
නුඹ මගේමයි කියා

මේ තරන් ප්‍රේමයක්
හිත තුලට පතුරුවා
නුඹ නොදන්නා නමුත්
හිතේ නුඹ ඉන්නවා
නුඹ ඉන්න තැන හිතේ
හැමදාම රිදෙනවා
හිත අස්සෙ රිංගගෙන
කොණිත්තන්නට එපා

ඒ රිදුම් රිදුනාට
රිදෙනකොට ලස්සනයි
නුඹෙන් මට ලැබෙන ඒ
වේදනාවත් සැපයි

ජීවිතේ පළක් වෙද
ආදරේ කරනු බැරි
ආදරේ පළක් වෙද
මේ තරන් දුකක් නැති

Monday, December 2, 2019

සිහින

දෙතොල් නළලත සිපගත්
රස විඳිමු හාදුවක් උණුසුම්
දෙසැම්බරයේ සීත සවසක
බෙදා ගමු කෝපි උගුරක්

ආදරේ කියා දෙමි
නුඹ එක්ක වරුවක්
ඇස් දිහා බලාගෙන
ඔහේ ඉමු දවසක්

පොඩි ඉඩක් ලැබුනොතින්
හිනාවෙමු මොහොතක්
අඬන්නට හිතුනොතින්
හිනාවෙමු ආයෙත්


Thursday, November 28, 2019

ආදරේ 🖤

ආදරේ.....
කිරන්නෙ මනින්නෙ නැතුවම
ලෝබ නැතුවම දුන්න
හිතන්නෙ බලන්නෙ නැතුවම
තලාපෙලා විසිකල

Thursday, November 21, 2019

තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආපිට දෙන්න පුලුවන් හොඳම තෑග්ග මොකද්ද දන්නවද? එක පාරටම හිතෙන්නෙ අනික් පැත්තට ආදරය කරන එක කියලනෙ...ඒත් ඒක එහෙම නෙවේ. ඇත්තටම ආදරේ කරන කෙනෙක් ආදරේ නෙවේ බලාපොරොත්තු වෙන්නෙ. මොකද ආදරේ කරන එක ආපිට ආදරේවත් බලාපොරොත්තුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ. ඒක දෙන දෙයක් විතරමයි. ආදරේ වෙනුවෙන් ආපිට ආදරයක් බලාපොරොත්තු වෙන්න, ඒක ඩීල් එකක් නෙවේනෙ. හැබැයි ඇත්තටම ආදරේ කරන කෙනෙක් හැමදාම දකින්න අහන්න කැමති එක දෙයක් තියෙනවා. ඒ තමන්ගෙ පණටත් වඩා ආදරේ කරපු කෙල්ල කොහෙ හරි සතුටින්, පරිස්සමින් ඉන්නව දකින එක. නොදැක්කත් එහෙම ඉදීවි කියල හිතන එක උනත් පුදුමාකාර සතුටක්.....මම මේකෙ කෙල්ල කියල විතරක් ලිව්වට ඒ ආදරේ අනික් පැත්තටත් එහෙමම තමයි. ඇත්තටම රෝමයක් වත් අයිති කර ගන්න බැරි තැන්වල තියෙන ආදරේ වෙන්න ඇති සුන්දරම....

මම මේක ලියන්න පටන් ගත්තෙ "තමන් ආදරේ කරපු...." කියල. ඒත් ඇත්තටම එහෙම වෙන්න බෑනෙ. ආදරේ කරපු කියල අතීත කාල වචනයක් තියෙන එකම වැරදිනෙ. එහෙම වෙනවනන් එතන ඇත්ත ආදරයක් තිබිල නෑ. එක දවසක් හරි කාට හරි ඇත්තටම ආදරේ කලානන්, ඒ කෙනා තාමත්, හැමදාටමත්, මරෙනකන්මත් ආදරේ කරනවා. ළඟ ඉන්නවද නැද්ද, තමන්ට අයිතිද නැද්ද කියන එක අදාලම නෑ.... ඉතින් ආදරේ කරපු කියල එකක් නෑ, ආදරේ කරන කියල විතරයි හරිනන් තියෙන්න ඕනෙ....

"කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුනට කම් නැතී
නුඹ මගේ නොවුනට කම් නැතී"

https://youtu.be/VtbEqhwamqw

මෙහෙම කියන්නෙ දිවුල්ගනේ. වචන ශාමිලා හුසේන් ගෙ. සංගීතය දර්ශන වික්‍රමතුංග ගෙ. ඉතින් ඇත්තනෙ නේද මේ කියල තියෙන්නෙ. මගේ නොවුනත් ඇත්තටම ආදරේ කරන කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ තමන් ආදරේ කරන කෙල්ල කොහේ හරි පණ වගේ පරිස්සන් කරන, පණටත් වැඩිය ආදරේ කරන මනුස්සයෙක් ගාව, තමන් පරිස්සන් කලාටත් වඩා පරිස්සමින්, තමන් ගාව හිටියටත් වඩා සතුටින් ඉන්නව දකින්නනෙ. ඒ සතුට තවත් වැඩි වෙයි ලස්සන දරු පැටවු දෙතුන් දෙනෙකුත් හදාගෙන ඒ කෙල්ල ජීවිතය විඳිනව දැක්කොත්.... ඉරිසියාවක් හිත යටින්වත් හිතෙන්නෙ නෑ.... හැබැයි මේ කියන්නෙ ඇත්තටම ආදරේ කරපු දෙන්නෙක් ගැන විතරයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම වෙන්නෙ කොහොමද කියල. ඔයාට එහෙම හිතුනනන් ඔයා කවදාවත් ඇත්තටම ආදරේ කරල නෑ....

ඔය සිංදුවට පස්සෙ යූටියුබ් එකේ ප්ලේ වුනේ දිවුල්ගනේ ගෙම තවත් සින්දුවක්. ඒක ලියල තියෙන්නෙ රවි සිරිවර්ධන. සංගීතය රෝහණ වීරසිංහ ගෙ.

"අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින් ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී..."

https://youtu.be/c_Ko3ia6fBQ

මම මේ සිංදුවෙ කැමතිම පද පේලිය තමයි "සතුටින් ද ඔබ පෙරටත් වඩා" කියන පද පේලිය. තමන් ගාව හිටියටත් වඩා සතුටින් තව කෙනෙක් ගාව තමන් ආදරේ කරපු කෙල්ල ඉන්නව කියල දැන ගන්න එක ආදරේ කරපු කෙනෙක්ට අප්‍රමාණ සතුටක්. අර මම කලින් කිව්ව වගේ ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. ඇත්තටම ආදරේ කියන්නෙ මහ පුදුම හැඟීමක්. මහා වේදනාවන් ගොඩක් පපුවෙ තියාගෙන ආදරේ කරත්, තමන් ආදරේ කරන කෙනාගෙ දියුණුව, සතුට ඒ වේදනාවන්ට ලොකු අගයක් ගෙනත් දෙනවා. ඒත් අවාසනාවකට සමාජයේ ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඒ වේදනාවන්ට අගයක් එකතු කර ගන්න හැටි.

"කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහි තලයේ
එය මගේ පැතුමයි මගේ සතුටයි..."

https://youtu.be/KY8HlULhOB0

මේ සිංදුව ජානක වික්‍රමසිංහ ගෙ. ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශ. සංගීතය රෝහණ වීරසිංහ. ආදරේ කරන කෙනෙක්ගෙ සතුට තියෙන්නෙ ආදරේ කරන අනික් කෙනා සතුටින් නිදුකින් කොහේ හරි ඉන්නව කියල විශ්වාස හරි කරන්න පුලුවන් වෙන එක මතමනෙ.  මෙහෙම හිතන්න පුළුවන් අය, ඒ කියන්නෙ ඇත්තටම ආදරේ කරන අය අඩු ඇති. ඒත් නැති වෙන්නනන් බෑ. මෙහෙම අයත් ඉන්නව. තමන්ට අහිමි වෙලා ගියත් තාමත් ආදරේ කරන තමන්ට ලඟට වෙලා දෙන්න බැරි රැකවරණය සතුට කොහොම හරි ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන මිනිස්සු ඉන්නව. මේ සිංදු වල තියෙන විදිහට හිතන අය තාමත් ඉන්නව. ඒ අය තමන් ආදරේ නිසා විඳින වේදනාවලට අගයන් එකතු කර ගන්න ගමන් තමන්ගෙ ආදරේ තමන් ලඟ නැති අඩුව පුරවගන්නව කාටවත් කරදරයක් වෙන්නෙ නැති විදිහට... 

ඉතින් ඔයාටත් කවුරු හරි කොහෙ හරි ඉඳන් ඇත්තටම ආදරේ කරනවනන්, සතුටින් පරිස්සමින්, ලස්සන ජීවිතයක් ගත කරන්න. එයාට, ඒ ආදරේ වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි, ඒ සතුටින් පරිස්සමින් ගත කරන ලස්සන ජීවිතේ.....

~දිනුෂ ජයසිංහ~

Sunday, October 27, 2019

ආදරය කෙටියෙන්

ආදරෙන් කාටවත් නොකී
වෙන් වෙලා නුඹ යද්දි මැකී
ගොතනවට වැඩිය මේ වැකී
මත් වෙච්චි ජීවිතය ලකී

Saturday, October 26, 2019

පෙරුම් නොපුරමි

හිස නුඹ මත හොවා
සැනසෙන්නට සැතපෙන්නට
පෙරුම් නොපුරමි
සවන් නුඹ කුස යොමා
කළලයක පෙරළි විඳිනට
පෙරුම් නොපුරමි
පපුතුරේ නුඹෙ මුව හොවා
හිස පිරිමැද සනසන්නට
පෙරුම් නොපුරමි
මුදු රෝස දෙතොල් පෙති
සිසිලසින් සනසන්න රිදවන්න
පෙරුම් නොපුරමි

නුඹ පේන මානයේ හඬ ඇසෙන මානයේ
රැදෙන්නට පමණක්ම
පෙරුම් පුරමි.......

Friday, October 25, 2019

ඔබේ ජීවිතයේ කිසිම තැනක මා වෙනුවෙන් ඉඩක් නොමැති බව මා දනිමි.....
නමුදු, මගේ ජීවිතයේ සෑම තැනක්ම
නුඹ අරක්ගෙන හමාරය.....
මා ඉන්නේ ඔබේ ජීවිතය තුල නොවන බැවින් අමුතුවෙන් මා එළවීමට ඔබට නොහැක.....
ඔබ මට ඉතා ලඟ වුව - මා ඔබට ඉතා දුරය.....
කම් නැත......
මා ඔබව මගේ ලඟ ආදරෙන් රැක ගනිමි.....
ඔබ මාව තව තවත් ඈත් කරන්න.....
සමා වුව මැන

වද දෙන්නෙ නුඹට
මා නොව
මගේ ආදරයයි

නුඹ පසුපස
පැමිණෙන්නේ
මා නොව
මගේ ආදරයයි

නුඹ ගැන සිත සිතා
දුක් වන්නේ
මා නොව
මගේ ආදරයයි

ඉතින්,

නුඹ මගෙන් පළිගෙන පලක් නැත
පළිගන්න මගේ ආදරයෙන්
මරා දමන්න ඒ ආදරය
ඒ වදකාර ආදරය
මරා දමන්න
නුඹට සිත් ලෙස


Thursday, September 26, 2019

නුඹ

නුඹ

දැවෙන
තැවෙන
හඬන
සිත
නිවෙන
නිවන
තැන
නුඹ

Tuesday, September 24, 2019

සතුට - දුක - වැස්ස

වැස්සක් තරන් සතුටක්
කොහිද තවත්
දෙන්නෙක්ට
ආදරෙන් බැඳුනු
අපි දෙන්න තරන්

වැස්සක් තරන් දුකක්
කොහිද තවත්
දෙන්නෙක්ට
ආදරෙන් බැඳුනු
අපි දෙන්න තරන්
හිතින් විතරක්......

Monday, August 12, 2019

අපි දුකෙන් ඉමු

පපුව ඇතුලෙ
මොකද්දෝ හිරවෙලා වගේ
නොතිබ්බානං
ඇත්තමයි මැණික
මට නුඹ ගැන
නොහිතා ඉන්න තිබුණා
ආදරේ නොකර ඉන්න තිබුණා
මෙච්චර වද නොවී ඉන්න තිබුණා
නුඹටත් සතුටින් ඉන්න තිබුණා

Sunday, August 11, 2019

රිදෙන්නේ උඹ ඉන්න තැන

ආදරය යනු සතුටම ද
සතුට ආදරයම ද
දුක දැනෙන වරායක් පාසා
ආදරය ලියලා වැඩුණු හැටි
අමතකම වීද
අඬ අඬා ආදරය කරන එක
පුරුදු වෙලා මැණික
මේ රිදෙන්නේ පපුවේ
උඹ ඉන්න තැන
වෙන්න ඇති නේද

Wednesday, August 7, 2019

ප්‍රදීපාගාරයක් වෙන්නන්.....

ගල් පර අතරින් කිසිම දා
නුඹ නොඑන බව දැන දැනත්
ගල් පර අතර සිර නොවී
යන්න මඟ කියා දෙන්නන්
නොපෙනී නුඹ යන තුරා
නොසැලී බලා ඉන්නම්
යළිත් දකිනු රිසියෙන්
මඟ එළි දල්වා බලා ඉන්නම්
නොපෙනී නුඹ යන තුරා
නොසැලී බලා ඉන්නම්
මඟ කියා දෙන ප්‍රදීපාගාරයක් වෙන්නන්

Thursday, August 1, 2019

කවදාහරි දවසක
පොතක් වුනොතින් මේ පැදි
තියේවි හිස් පිටක්‌
නොලියූ කිසිත්
එයයි පිදුම - ඒ නුඹේ නමටයි

Wednesday, July 10, 2019

අන්තිම එක (ස්තූති කතාව)

ඇල්කොහොල් වලටත්
එක එක උත්තර
දෙන්න පුළුවන් වග
ස්තූතියි
කියා දුන්නට........ 🖤

නුඹ ඒ රිද්මය අසා නැත..............



නුඹ ලඟ
මගේ හදවත
ගැහුණු රිද්මය
වරක් හෝ
අසා ඇත්නම්
හදේ රිද්මය
නතර වී
මියෙන තුරු
මග බලා
නොසිටිනු ඇත
අවාසනාවකි
නුඹ ඒ රිද්මය
අසා නැත..............

තාම මැරිලා නෑ

ඒ හීනෙ අන්තිමට මං මැරුණා
එච්චරයි මතක
එක පාර බය වෙලා ඇහැරුණා
රෑ එකට විතර

මං තාම මැරිලා නෑ
දුක හිතුන තදට

යථාර්ථය

ජීවිතේ දුන්නේ තියා ගන්න
පරිස්සං ඇති තැනක
පරිස්සමට බලා ගන්න

ඇයි ඉතින් විසි කළේ
දැං ඉඩ මදිද බලා ගන්න

Tuesday, July 9, 2019

නීතියක් නෑ එහෙම

නීතියක් නෑ එහෙම
අපි ආදරය කරන වුන්
අපට ආපිට ආදරය කල යුතු යැයි

නමුදු
ආදරයෙන් මියෙන්නට
ඒකපාර්ශ්වික ආදරයක්‌ පමනක් වූව
පමණ වග
හිමිව ඇතැයි හිතෙන
අහිමි බව පසක් වන
ඕනැම නිමේෂයක
දැනෙනු ඇත

වේදනාවෙන් පෙළෙනු බලා
ආදරය කල උන්ම
යම් දිනෙක හිනැහෙනු ඇත
වේදනාවට හේතුව උන්ම බැව්
අමතකව හිනැහෙනු ඇත

දුක් නොවන්න
තත්පරයක් හෝ
හදවතින්ම
නුඹ ආදරය කල බැවින්

උන් හා එක්ව නුඹ හිනැහෙන විටෙක වූව
ඒ සතුට දැක සතුටු වනු හැක
එයයි ආදරය......... නුඹට නොවැටහෙන

දරා ගත නොහැකි තැන

හිතේ තෙරපෙන හැඟුම් පොදි
කදුලු කැටවී පනින හැටි
පපුවේ හිරවී හැඟුම් ගුළි
හුස්ම නැවැතී මියෙනු ඇති

Sunday, July 7, 2019

වේදනාවේ සෙත් කවිය

හිත රිදෙන තරමට මෙතරම්
ආදරය කියා දුන් හැටි මනරම්
නුඹ දුන් මතක ගුළි කරන්
හඩන වැලපෙන හැටි දනී නම්

සමු අරන් යා හැකි නම්
වැලපෙනු කිමද මෙතරම්
සමු ගනිමි ජීවිතෙන්
නුඹ නැති දිනෙක කිසියම්

දුකක් නුඹට කිසි දවසක නොදැනේවා...!
හිතින් හිතන හැම පැතුමන් ඉටු වේවා...!
නිතින් නිතින තුටු කදුලැලි ඉතිරේවා...!
රුවන්, විමන්, පිරිවර නුඹ සතු වේවා...!

Saturday, July 6, 2019

හිතන්නට වත් ඉඩක් නැති සබඳකම්

තවත් තව තවත් අය ඇත්තටම
හිතන බව හිතෙන විට නුඹ ගැන
හිතන්නට වත් ඉඩක් නැති නුඹ ගැන
සබඳකම් ඇත්තටම වදයක් නේද

හිස මත නුඹේ අත තියා මම පවසමි
නුඹ තරං සිතට සුව දුන් කෙනෙක් තව නැති
නුඹ නැති දිනෙක දැනෙනා දුක් සිතුවිලි
සඟවන්න රස තැන් ඉතිරි දැයි නොදනිමි

විඳව විඳවා නුඹ ඉන්න එපා යන්න
රිදව රිදවා ඉන්න මට නැහැ හයිය
විඳව විඳවා මැරෙන දවසට ඔන්න
හිනැහි හිනැහී මා බලන්නත් එන්න

උන් නුඹ රකිනු ඇත තනියක් දැනෙනු නොදී
මා දුන් කැළැල් උන් එක් වී මකනු ඇතී
නුඹ පසුපස ඇවිත් නුඹ නොලැබුණු විට දීී
මා ගෙතු කතාවක් බව පවසනු මැනවී

You.....

password
of
my smile and life
which
someone
hacked

Thursday, May 16, 2019

හමු නොවී

හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්
දෙනෙත් කඳුලින් තෙමා
හඬක් නොනැගෙන සේ
නුඹට නොහඬා ඉන්න තිබුණා
හමු නොවී සිටියානම්

හමු වෙලා වෙන් වෙලා යන්නට කිසිම දා
අපට සිදු නොවන්නට තිබුණා
හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්

නෙත් අගින් පිළිතුරු නොදී
නුඹට ඉන්නට තිබුණා
හමු වෙලා වෙන් වෙලා යන දුක
හමු නොවී මහ හරින්නට තිබුණා
හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්

Saturday, May 11, 2019

Blocked

බ්ලොක් කරන්නෙපා
ඔබේ ඔය හදවත
හොරෙන්වත් රිංගන්න බැරිවෙයි
VPN එකක්වත් දාගෙන

Friday, May 10, 2019

කැලැල්

සුව නොවිය යුතු කැලැල් ඇත
රිද්ද ගනිමින් විඳිනු හැක
පැසව පැසවා තියෙන විට
කතාවකි දෙබස් මතකෙට එන

නිදි නේන රෑක
රස විදිමි තනිව
නින්ද ඉඳහිට එන දාට
රස විඳිමි සිහිනෙන් ඈ එක්ක........

Thursday, May 9, 2019


ආදරය ක්ලේමෝ එකක්

කඩු කිණිසි බෝම්බ මොකටද
ආදරය ක්ලේමෝ එකක්
සතුරාගෙ පැත්තට මුහුණ ලා අටවන

ආදරය නොගැලපෙන තැන
ආදරය සතුරෙක් වෙන තැන
ක්ලේමෝව අටවන දින
පුපුරුවා ආදරය මිය යන දින
කවුරුනම් දනීද.......

මා මරා පලා යන අහිංසකාවිය

ආදරේ කියන්නෙ දුකට
ගලන කඳුලු - ඒ ඔයා

හීනෙන්වත් නොඑන්නම
හීනෙන්වත් නිසිතු ලෙස
මා මරා පලා යන
අහිංසකාවිය - ඒ ඔයා

වරක් නොව යලි යලිත්
මැරි මැරී උපදින්න
මරා මහ මග දමා යන
ආදරවන්තිය - ඒ ඔයා

Wednesday, May 8, 2019

නිහඬව

හරි අපූරුයි
උන් සමඟ
මා පෙම් කල  - පෙම් කරන ඇයත්
මගේ මරණය අභියස
බලා ඉන්නා අන්දම
උන් අත්පොලසන් දෙමින්.....
ඇය නිහඬව ඉඳිමින්.....

හීන

කොයිතරම් තිබුණත් කරදර
අපි හිනා නොවුනු දවසක් තිබුණද
හිත රිදිනු තැන් තිබුණට ඉඳ හිට
අපි තරහ වුන තැන් තිබුණද
දුකට සතුටට කඳුලු හැලුවට ඉකි බිඳ
අපි දුක් කඳුලු හැංගුව හැටි මතකද
අනේ අපි මොනා කරන්නද මැණික
අපි මවපු හීනත් දියවෙනව නේද

Sunday, May 5, 2019

ඉතින් එතකොට

කඳුලු පුරුදු වෙද්දෙන්
බොරු කරන්න
ඕනෙම වෙලාවටවත්
නෑවිදින් නවතින්න
හිනාවක් ඇතුලෙ
මුවා වී හැංගෙන්න

ඉතින් එතකොට

ගනන් නොගෙනම ඉද්දි
පුලුවන් හිනැහෙන්න
ගොළු වෙලා හැංගෙද්දි
සතුටින් ඉපිළෙන්න
නොකියාම හැරයද්දි
පැත්තවත් නොබලන්න

ඉතින්

කඳුලු පුරුදු වෙද්දෙන්
බොරුම කරන්න
මටත් පුලුවන් එතකොට
බොරුවට හිනැහෙන්න
සතුටින් ඉපිලෙන්න
යන්නම යන්න කියන්න

Saturday, May 4, 2019

නුඹ

නුඹ
පර්යාය පදයක් නොව
ප්‍රේමයට
ප්‍රේමය
පර්යාය පදයකි
නුඹට

Friday, May 3, 2019

දැවෙන සිත නසා සුවපත් වෙනු

දින
සති
මාස
අවුරුදු
කීයක්නන් ඉන්නද මෙහෙම


දින
ගෙවන
හැටි
කියා දෙන කෙනෙක් වෙද කවුරු

අද
හෝ
හෙට
ඇවිත්
ගෙල සිඳ මා මරණු

තැවි
තැවි
දැවෙන
සිත
නසා නුඹ සුවපත් වෙනු

Thursday, May 2, 2019

නුඹ කොතන සිටියට මොකද නුඹ ඉන්න වග මං දන්නවා

නුඹ කොතන සිටියට මොකද නුඹ ඉන්න වග මං දන්නවා

ඔලුව අවුල් වෙලා කිසිම දෙයක් කර ගන්න බැරි තරමට අසරණ හැඟීම් හැම වෙලාවකම ඇති වෙන්නෙ නෑ. ඒත් ඒ වගේ වෙලාවල්වල ඇහෙන සමහර සිංදු ඒ හැඟීම් දෙගුණ තෙගුණ කරනව විතරක් නෙවේ ඒ හැඟීම් මොහොතකටවත් අමතක කරන්න බැරි කරලම දානව. අනේ මන්ද. වෙලාවකට හිතෙනව ඒ ඇහෙන සිංදු කවුරුහරි මගෙ මානසික තත්ත්වය දැනගෙන ප්ලෑන් කරල මාව තවත් රිදවල විනාස කරන්න හිතාගෙන ප්ලේ කරනවද කියලත්.

සමහරවිට ඒ එයයි මමයි කතා කරපු අන්තිම වතාව වෙන්නත් පුළුවන්. හෙට ඉඳන් එයා එයාගෙම අලුත් ලෝකෙක ජීවත් වේවි. සමහර විට ඒ දුකින් වෙන්නත් පුළුවන්. ඒත් එහෙම වෙන්න එපා කියලයි හැම වෙලාවෙම මමනන් හිතන්නෙ. ඒ කෝල් එක නොගැලපෙන වෙලාවක නවත්තල දැම්මෙත් මමමයි. මම දන්නව මම අඬනව අහන්න එයා කැමති නෑ කියල. මාත් කැමති නෑ එයා අඬනව බලන්න. හිත හයිය කරගෙන ගොලු වෙලා යන්න හදන බව නොතේරෙන්න තරන් මම මෝඩයෙක් නෙවේනෙ. අනික මම එයාව දන්නෙ අද ඊයෙක ඉදල ද?

හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න කියල එයාට යන්න ඉඩ දුන්නෙ පපුව පුපුරන්න තරන් වේදනාවකුත් එක්ක. ඒක තේරෙන්නනන් ඒ අත්දැකීම තියෙන කෙනෙක්ම වෙන්න ඕනෙ ඇති. කොහොමද කාටවත් ඒ වේදනාව තේරුන් කරන්නෙ. අඩුම තරමෙ මෙච්චර මාව දන්න ඔයාටවත්.....

"මල කොතැන පිපුනට මොකද
පිපුන වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිලුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතන සිටියට මොකද
නුඹ ඉන්න වග මං දන්නවා"

මේ වගේ වෙලාවක, මෙහෙම සිංදුවක් ඇහෙනව කියන්නෙ අඩන්න ඉන්න මනුස්සයෙක්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ නෙවේද? හෙට ඉදන් ඔයා මගෙ ගාව නැතත්, කොහේ හරි ඉන්නවනෙ. ඔව් ඒක මම දන්නව. හැබැයි ඉන්න ඕනෙ හොදින්, මාත් එක්ක පිච්චි පිච්චි හිටියට වඩා සතුටින්. ඒ අලුත් ජීවිතේ විඳින්නයි ඕනෙ, විඳවන්න නෙවේ. එතකොටයි මට සතුටු නැතත් දුක හරි අඩු වෙන්නෙ. හැමදාම මම කිව්ව වගේ ආදරේ කියන්නෙ දෙන දෙයක්, ආපිට බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක් නෙවේ. ඒකයි අදටත් ඔයාගෙ සතුට ප්‍රාර්ථනා කරන්නෙ. නැතුව මට මේ තනිය විඳගන්න පුළුවන් කමකටනන් නෙවේ.

ඔය සින්දුව පටන් ගන්නෙම හරියට මොනාද කියන්නෙ කියලවත් හිතා ගන්න බැරුව ඉන්න මං වගේ. පේලියක් ඇර පේලියක්. හරියට වචන පේලියක් කියනකොට ඊලඟ පේලිය කියා ගන්න බැරිව හිරවෙන මේ මං වගේ. එච්චරකට අමාරුයි ඒ හැඟීම දරා ගන්න.

"විලේ ලස්සන තවත් විල් දියෙ මලුත් පිපුනොත් තමා
දොලේ ලස්සන තවත් දොල දියෙ පෙනත් මැකුනොත් තමා
සඳේ ලස්සන තවත් සඳ දියෙ තරුත් දිලුනොත් තමා....."

ඔව් ඒ සේරම ඇත්ත....ඒත් සින්දුවෙ මෙහෙම කියනවනෙ....

"නුඹේ ලස්සන තවත් නුඹෙ සිතෙ මාත් සිටියොත් තමා"

අනේ එහෙම නෑ මගෙ මැණික. එහෙම නෑ.... මාව අයින් කරලම දාල ඒ අලුත් ජීවිතේට යන්න. එතකොට අලුත් ජීවිතේ ලස්සන වෙයි. තමන්ගෙ ආදරේවත් පරිස්සන් කරගන්න බැරි වෙච්චි මාව ඔයාගෙ හිතේ තියාගෙන මොනව කරන්නද....ඔයා කොහොමත් ලස්සනයි. ඒ හිත ලස්සනයි. වෙන කරන්නම දෙයක් නැති තැන මේ තීරණේ ගන්න උනාට මම දන්නව ඒක මට තරන්ම ඔයාටත් වේදනාවක් දුකක් කියල. ඒත් ඒ අලුත් ජීවිතේට යන්නම වෙනවනන් මට තියෙන්නෙ පැත්තක ඉදන් බලන් ඉන්නනෙ.

පාළුම පාළු මූසල බෝඩිං කාමරේක අමාරුවෙන් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන කල්පනා කරන මේ කාලකන්නි මනුස්සයගෙ වේදනාව නිවන්න ඇඳ ගාවට ඇද ගත්තු ප්ලාස්ටික් පුටුව උඩ තියෙන බියර් කෑන් එකකටයි ඩන්හිල් පැකට් එකකටයි කරන්න පුළුවන් මගුලක් තියෙනවද? ඒ අස්සෙ මේ සින්දු......
                                  -දිනුෂ ජයසිංහ-
-------------------------------------------------------------------
"මල කොතැන පිපුනම මොකද"
ගායනය - දිපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය - සුරේෂ් මාලියද්ද
පද - අතුල ජයදේව

ඒ භයානක ශබ්දය

ඩිග් ඩිග් සද්දෙට
ගැහෙනකොට හදවත
තමන්ගෙම
බයයි අහන් ඉන්නත්
තනියම......

Wednesday, May 1, 2019

ආදරේ එහෙමයි.....

මෙච්චරම වද වෙන්නෙ
පරිස්සන් කරන්න
ලඟ නැති නිසාමයි

ආදරේ එහෙමයි.....

ඒක දෙන දෙයක් විතරමයි
ආදරේවත් ආපිට ඕනෙ නෑ

පරිස්සමින් සතුටින්
ඉන්නවනන් එච්චරයි

ආදරේ එහෙමයි.....

මැවි මැවී පේන

ඔව් මම දුකින්
හේතුවක් තේරෙන්නෙ නෑ
ඇයි කියන්න දන්නෙත් නෑ
මහ පාලුවක් තනිකමක්
ඒක මහ අමාරු හැඟීමක්
කෑ ගහල අඬන්න හිතෙන
හුස්ම හිරවෙන්න වගේ වෙන
ඒ අතරින් පතර
එකම රූපයක් මැවි මැවී පේන
නින්දක් අහලකටවත් නේන......

සදහටම

නින්ද,
ඉන්න තැනකින් එන්න
මහන්සියි හොදටෝම
සැඟවී නොඉද එන්න
නිදන්න ආසයි
මොහොතක් නොව
සදහටම!!!!

Sunday, April 21, 2019

මේ මගේ තෑග්ග ...... ..... !

"ඒක දැනෙන දෙයක්" - දැනෙන දේ දනවපු "දැකල පුරුදු කෙනෙක්"
---------------------------------------------------------------
වසර හතරක් හෝ ඊට වැඩි කාලයක් හෝ "ආදරය කිරීම" පමණක්ම සැබෑ ආදරය හඳුනා ගැනීමට ප්‍රමාණවත්ද? දිනිති සහ සචිත්‍ර ඉතා අහඹු ලෙස මුණගැසී වසර හතරක් ආදරය කර සෙනෙහස සොම්නස ප්‍රීතිය හා සිනාමුසු මුහුණු සදාකල් පවතීයැයි බලාපොරොත්තු සහිතව විවාපත් වූ දෙපළකි. නමුත් ඔවුන්ට ඔවුන් බලාපොරොත්තු වූ සැබෑ ආදරය හමුවීද?

භූපති නලින් සහ මලිත් හෑගොඩ එක්ව නිර්මාණය කර ඇති දැකල පුරුදු කෙනෙක් (Strange Familiar) සිනමා නිර්මාණය මධ්‍යම පාන්තික පවුල් පසුබිමක සදාකාලික් එහෙත් විවෘතව කතා කිරීමට මැලිවූ ඝට්ටනයන් පිළිබඳව වූ කතාතේමාවක් රැගත් චිත්‍රපටයකි. මනා ලෙස නිර්මාණය කල නිවසක්, කුඩා හොන්ඩා වර්ගයේ මෝටර් රථයක්, ඇදුම් පැලදුම්, ත්‍රීරෝද රථයක ගමන් බිමන් යන බිරිඳ, මෙන්ම දෙමව්පියන්ගේ හා මිතුරු මිතුරියන්ගේ චරිත ද එම මධ්‍යම පාන්තික සමාජ ලක්ෂණ මතු කිරීමෙහි ලා රුකුලක් වෙයි. දිනිතිගේ ආදර සබඳතාවයක් තුල පවුල් ජීවිතය තුල හට ගන්නා සිද්ධි සමූහයක් තුලින් සංකීර්ණ කතාවක් ගෙන හැර දැක්වීමට චිත්‍රපටය සමත් වී ඇත.

සචිත්‍ර කෙතරම් බාධක පැනවූව ද දිනිති යනු තමාට අවශ්‍යතාවක් ඇත්නම් තවකෙකු සමඟ සබධතාවක් ඇති කර ගත නොහැකි තැනැත්තියක්වත් ඒ සඳහා අවස්ථාවක් නොමැති තැනැත්තියක්වත් නොවේ. ජංගම දුරකතනය අල්මාරියේ අගුලු ලා සැඟවූවද, නිවසේ දුරකතනය ඇමතුම් ගත නොහැකි පරිදි අගුලු ලා තැබුවද ඇයට එවැන්නක් සඳහා ඕනෑ තරම් අවස්ථා ඇත. සංකීර්ණ ජීවන රටාවන් තුල එවැනි ඉඩ අහුරා දැමීමේ හැකියාවක්ද සචිත්‍රට නැතුවා විය හැක. කොටින්ම අවශ්‍යනම් එදිනෙදා ගමන් යන ත්‍රීරෝද රියදුරු චාමර සමග සබඳතාවක් ඇතිකර ගැනීම ඉතාම පහසු බවත්, එවැන්නක් චාමර ද බලාපොරොත්තු වන බවක් නිතර ප්‍රේක්ෂකයාට දැනේ. එමෙන්ම කතා විලාශයෙන් මෙන්ම ඇදුමින් ද සිත් ඇදගන්නා ඇයගේ රූපය ද තවමත් පිරිමියෙකු සිත ඇද බැඳ ගැනීමෙහිලා සමත්‍ ය. නමුත්, දිනිති හෝ ඇය නියෝජනය කරන කාන්තාවට අවශ්‍ය වන්නේ හුදෙක් ලිංගික සබඳතාවක් නොව ඊට ඉඳුරාම වෙනස් වූ දැනෙන ආදරයක් බව පැය දෙකකට ආසන්න කාලයක් පුරා දැකල පුරුදු කෙනෙක් අපට කියා දෙයි.

ඇතුලෙ තියෙන ආදරේ එලියට එන්නෙ අපිට හරි අනෙකා හම්බුනාම යනුවෙන් මීට වසර දෙක තුනකට පෙර මලිත් හෑගොඩ ගුවන් විදුලි වැඩසටහනක පැවසුවා මතකය. ඇත්තටම දිනිති ඇතුලත ඇති ආදරය එලියට එන්න තරම් අනෙකෙක් ඇයට හමුවී ඇත. නමුත් මදක් ප්‍රමාද වීය. එම ආදරය ඇති වූ ආකාරය ගැන වරක් දිනිති තම ඥාති සොහොයුරු සංකට පවසනේ එකට වැඩ කරනකොට, දේවල් ශෙයා කරනකොට එවැන්නක් ඇති විය හැකි බවයි. නමුත්, එවැන්නක් ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මලිත්ම පැවසූ ලෙස හරි අනෙකා හමුවීම ම  පමණක්ම ය. එලෙස හමුවූ එකිනෙකා තේරුම් ගැනීම පමණක්ම ප්‍රමාණවත්‍ ය. වෙන කිසිත් ශෙයා නොවෙනු ඇත. ආදරය පමණක්ම ශෙයා වෙනු ඇත.

"මං ඇත්තටම ආදරේ දැනගත්තෙ එයාගෙන්...
ඒක දැනෙන දෙයක්...මං දුක් වෙන්නෙ නෑ...
මට සේරම නැති වුනා..."

සැබෑවටම දැනෙන ආදරයක් වෙනුවෙන් ඇය සියල්ල අහිමි කරගෙන ඇත. රැකියාව, නිදහස, සමාජ සබඳතා පමණක් නොව තම පවුල් ජීවිතයේ නිස්කලංක බව පවා අහිමි වී ගොස් ඇත. කොටින්ම අපට නොපෙන්වන ආදරවන්තයාගේ ආදරය නිදහසේ විඳ ගැනීම පවා ඇයට අහිමි වී ඇත. නමුත්, ඒ ආදරයේ සිහිවටනයන් ඇය තවමත් ජීවත් කරවයි.

එකිනෙකාගේ ආදරයේ සිහිවටයන් හෝ සංකේතයන් විවිධාකාර විය හැක. එක් අයෙකුට එය මතකයක්ම පමණක් වන විටක තවෙකෙකුට ඒ ඈ හෝ ඔහු සමග එක්ව ගන්නා ලද චායාරූපයක් විය හැක. යම් විටක ඒ සංකේතය බස් ටිකට් එකක්, එක්ව නැරඹූ චිත්‍රපටයක ටිකට් එකක් හෝ ඒ මොකුත් නැතිතැනක ඔහු හෝ ඇය විසින් කිසිම අරමුණකින් තොරව ලියා දුන් වචන කීපයක් ඇඳ දුන් බලි රූපයක් සහිත කොළ කෑල්ලක් විය හැක. තම ආදරය තම අත පොවන මානයේ ඇස ගැටෙන මානයේ නොමැති යම් දිනක එම සිහිවටනයන් දිවි දෙවෙනි කොට සුරැකීමටත් ඒවාට මහත් සේ ඇළුම් කිරීමටත් ඔවුන් පෙළඹෙනු ඇත. තමාට සුරැකිව තමා ලඟ තබා ගැනීමට නොහැකි වූ ආදරය සුරකින්නාක් මෙන් එම ආදරයේ සංකේතයන් සුරකිනු ඇත. කැබිනට්ටුවක් තුළ සුරැකිව සඟවා තබා ඇති සුදු පාට කළු පාට මග් එක දිනිතිගේ ආදරයේ සංකේතයයි. දිනිතිගේ සැබෑ ආදරය දැක ගැනීමට බලා සිටින ප්‍රේක්ෂකයට සැබෑ ආදරය ලෙස දැක ගැනීමට හමුවන සංකේතයද එයම පමණකි. ඇය එයට මහත් සේ ඇළුම් කරයි. තනිව සිටින අවස්ථාවන්හි දී මහත් අසාවෙන් ආදරයෙන් එහි පහස විඳ ගනියි. සෝදා පිරිසිදු කොට පිස දමා ඉතා ප්‍රවේශමෙන් නැවත සඟවා තබයි. කොටින්ම අවසන මහ ගෙදරට යන මොහොතේ පවා ඇය සමග රැගෙන යන වටිනාම වස්තූන් දෙකෙන් එකක් වන්නෙ එම සිහිවටනයයි. අනෙක් වස්තුව තම දියණියයි!

නමුත්, සචිත්‍රගේ කතාව ඊට වෙනස්‍ ය. ඔහු කිසිම අවස්ථාවක දිනිති නැවත පිළිගැනීමට අකමැත්තක් දක්වයි.

"දරුවෙක් ඉන්නවා.... එයාට අම්මයි තාත්තයි දෙන්නම ඕනෙ.... එච්චරයි"

දිනිති සමග එක්ව සිටීමට ඔහුට ඇති හේතුව එයයි. ගැහැණියකගේ ආදරය තේරුම් ගැනීමට අපහසුය. ආදරය කිරීමට කිසිම හේතුවක් නොමැතිව වුවද ආදරය කිරීමට ගැහැණියට හැකිය. නමුත් පිරිමියා ඊට වෙනස්‍ ය. ආදරය කල එක් හේතුවක් නැති වූ කළ ආදරය කළ හැකි අනෙක් හේතු ද පසෙක ලා ප්‍රතික්ෂේප කිරීමට පිරිමියා පෙළඹෙයි.

"ගෑනියෙකුට පුලුවන් සමහරවිට පිරිමියෙක් කරපු දේවල් අමතක කරල මුල ඉදල පටන් ගන්න. ඒත් පිරිමියෙකුට එහෙම බෑ".

සචිත්‍රගේ යෙහෙළිය ලහාරි පවසන්නේ ද එයයි. මෙවැනි අවස්ථාවක ඉවසීමෙන් ලැබෙන දෙයක් ගැන සචිත්‍රලා නොදනී.

"ඉවසල?..... නෑ මං අහන්නෙ ඉවසල මොකද කරන්නෙ?"

ප්‍රශ්න සමඟ සියලු දේ අවිශ්වාස කිරීමට සචිත්‍රට සිදු වී ඇතිදැයි විටෙක සිතේ. ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ඔහුගේ නිවාස වල දොරවල් දෙකක් නැත. ඇත්තේ තනි දොරකි. සචිත්‍රට අනුව හොරකන් කල නොහැකි බැවින් බොරු කාරයන් තනි දොරට අකමැතිය. එක් දොරක් පමණක් ඇතිවිට යාම් ඊම් සියල්ල ඒ දොරෙන් පමණකි. නමුත්, සමාජයේ අපට හමුවන බොහොමයක් නිවෙස් වල දොර දෙකකි. තනි දොර අසාමාන්‍ය තත්ත්වයකි. 

චිත්‍රපටයක් හෝ මොනයම් හෝ කලා නිර්මාණයක් හොඳ නිර්මාණයක් ලෙස නම් කිරීමටනම් එය නැරඹීමෙන් කම්පනයක් ඇති විය යුතුය. ධාවන කාලය පුරාවටම මේ පෙන්වන්නෙ අපට ඉතා හුරු පුරුදු චරිත බව ඒත්තු ගන්වන මෙම චිත්‍රපටය ජීවිතයේ නැරඹූ  හොඳම චිත්‍රපටයක් ලෙස සැලකිය හැකි වන්නේ ඒ නිසාය. බිමල් ජයකොඩිගේ රඟපෑම් ගැන අමුතුවෙන් කතා කල යුතු නැත. නමුත්, අපට එතරම් හමුවී නැති සමාධි ලක්සිරි ගේ රංගනය ඉතා තාත්විකය. යහලුවන් සමඟ වන සාදය අවසානයේ චායාරූපයට පෙනී සිටින දර්ශණය ඒ බව මැනවින් පෙන්වා දෙයි. සමාධිගේ රංගනයක් මා මුළින්ම දකින්නේ රාජ්‍ය සම්මාන කිහිපයක්ම හිමිකර ගත් ජනේලෙන් පනින්නද වේදිකා නාට්‍යයෙනි. ඒ මීට වසර නමයකට දහයකට පෙර විය යුතුය. ඉන් පසුව මෑතක දී හිතක ගත්ත තීරණයක් වේදිකා නාට්‍යයේ ඇයගේ රංගනය මතක හිටින රංගනයකි. චිත්‍රපටයේ දිනිති ලෙස ඇයගේ රංගනය විශිෂ්ඨ ය. පැසසිය යුතුමය. අනෙකුත් සියලුම නළු නිළියන් චිත්‍රපටයට, කතා තේමාවට ඉහල සාධාරණය සිදු කොට ඇත. ප්‍රේක්ෂකයා කම්පනය කිරීමට දායක වී ඇත.

මෙවැනි කතා ඇසීමට නැරඹීමට අඩු වැඩි වශයෙන් අප ද ඇතුළුව සියලු දෙනා කැමැත්තක් දක්වයි. අනුන්ගේ කතා ඉස්මතු කොට තමන්ගේ කතා ඉන් වසා ගැනීමට එවිට හැකිය. ඉතින්, මෙය බැලිය යුතුම චිත්‍රපටයකි.

"පුදුම මිනිස්සු අප්පා.... අපේ ගේ දෙපැත්තෙ මිනිස්සුත් ඔය වගේම තමයි.... කිසිම වෙනසක් නෑ....."

-දිනුෂ ජයසිංහ
       21.04.2019



Sunday, April 14, 2019

ආදර කතාව

අකුරින් අකුර
වචන අමුණපු
ආදර කතාව
දැන් ලොකුම ලොකු පොතක්

අතරින් පතර
දැකපු හිනාවක
කඳුලු බිංදුවක
සතුට දුක හැංගුන ජේදම ගොඩක්

රෝමයක්වත්
අතනොගෑවුණ
ප්‍රේමයක්
එය ජීවිතයටත් වැඩි වස්තුවක්

‍රකින්නට
ආදරයක් එවන්
පුදන්නම්
ඔබ හැර වෙන ඕනෙම දෙයක්

Thursday, April 4, 2019

නිහැඬියාව

මාළුවෙක් ගොඩ ගත්තම
ගැහෙන හැටි දැක්කද
වතුරෙ ගිලිල විනාඩියක් දෙකක්
ඉඳල තියෙනවද
පැය කීපයක නිහැඬියාව
ඊටත් අමාරුයි දන්නවද

Monday, April 1, 2019

එපා ඔබ දුර යන්න


තාමත් ඉඳහිට
නිදි නැති රැයක
ඔබ දුරක ගිය මතක
හිත දවන හැටි
හෙමිහිට
ආයෙමත් දවසක
එපා ඔබ දුර යන්න
ඒ එදා වාගෙම
දන්නවද
එදාට වැඩිය අද
ඒ ආදරය ❤
මහ ගොඩක් වැඩි වග
යන්නෙ එහෙම නෑ
ඒන්නෙ පස්සෙන්
වද දිදී මම
දන්නවනෙ මගෙ හැටි......

Tuesday, March 26, 2019

ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසිය - අසන්ධිමිත්තා

ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසිය - අසන්ධිමිත්තා

අප සියලු දෙනා අඩු වැඩි වශයෙන් ෆැන්ටසිවල ජීවත් වන අතර එලෙස ජීවත් වීමට ආශා කරන්නෙමු. එම ෆැන්ටසීන් තම සමීපතමයන්ට වුව හෙලි කිරීමට මැළි වුව ද ෆැන්ටසියෙන් මිදී රියලිටිය තුලට පැමිණීමට උත්සාහ කිරීමටවත් අපි අකමැති වන්නෙමු. ෆැන්ටසීන් අපගේ පාලනයට යටත්ය. ෆැන්ටසීන් තුල ඇත්තේ අප ආශා කරන දේ පමණකි. නමුත්, රියල් ජීවිතය අපට නතු නැත. අපගේ පාලනයෙන් තොරය. එසේත් නැත්නම් අපගේ පාලනයට නතු කොට ගැනීම අතිශය අපහසුය. කැමති අකමැති සියලු දේට අකමැත්තෙන් වුව මුහුණ දිය යුතුම ය. එබැවින් රියල් ජීවිතයේදී අපට ලැබෙන අප කැමති දේ සමඟ සතුටින් ද, අකමැති දේ සමඟ අසතුටින් ද ජීවත් වන අතරතුර වඩාත් කැමති දේ පමණක් ෆැන්ටසියකට ගොනු කොට ඒ තුළ ජීවත් වීමට අපි පුරුදු වී සිටිමු. රියල් ජීවිතයේ ලැබෙන ඉස්පාසුවක දී ෆැන්ටසියේ චරිත සමඟ දොඩමළු වන්නෙමු, ජීවත් වන්නෙමු. එම ෆැන්ටසිය රියලිටිය සමඟ නොගැටීමට වග බලා ගන්නා තාක් කල් ඒ සඳහා කිසිවෙකුගෙන් බලපෑමක් සිදු නොවනු ඇත.  ෆැන්ටසිය තුළ රියල් ජීවිතයේ මෙන් එකෙකුට හෝ එකියෙකුට පමණක් ආදරය කළ යුතුයැයි සීමා පනවන්නට කිසිවෙකු නැත. ඔබට ඕනෑ තරම් පිරිසකට ආදරය කිරීමේ අවස්ථාව ෆැන්ටසි ලෝකය තුළ හිමිය. අසන්ධිමිත්තා (නිල්මිණි සිගේරා) තම ආශාවන් සන්තෘප්ත කර ගැනීමට උත්සාහ දරන්නේ ද එවන් ෆැන්ටසි අවකාශයක් තුළය.

විටෙක මෙය අසන්ධිමිත්තාගේ කතාව ද එසේත් නැතිනම් පිරිමින්ගේ කතාවක් දැයි වටහා ගැනීම අපහසුය. රියල් ජීවිතයේ දී තම බිරිඳ, ආදරවන්තිය, සහෝදරිය තමන්ගේ රූකඩයක් වනු දැකීමට බොහෝ පිරිමින්ට සිදුව ඇත. එය පිරිමින්ගේ කැමැත්තම ද එසේත් නැත්නම් සමාජය විසින් පිරිමියා මෙහෙයවා ඇති තැන දැයි වටහා ගත යුතුව ඇත. කෙසේ වුවද සැබෑ ආදරයක්, ලෙන්ගතුකමක්, ස්පර්ශයක් අභිමුව රූකඩයක් වීමට ද පිරිමියා අකමැති නැත. නමුත් රියල් සමාජය තුල පිළිගන්නා "අගනාකම්" තුල එවැන්නකට ඇති ඉඩකඩ අල්පය. ගැහැණියකගේ රූකඩයක් වන පිරිමියා බාහිර සමාජයට සෑම විටකම පාහේ ද අවස්ථානුගත සිද්ධීන් මත සමහර අවස්ථා වල එම ගැහැණියටම ද නපුංසකයෙකු ලෙස දිස් වීමෙ වැඩි ඉඩකඩක් පවතී. එසේ වුවද අසන්ධිමිත්තා සමඟින් අපට හමුවන විකීලා  (ධර්මප්‍රිය ඩයස් සහ ඩබ්ලිව්. ජයසිරි) නියෝජනය කරන්නේ ගැහැණියකගේ රූකඩයක් වීමට අකමැත්තක් නොමැති පිරිමින්ගේ කුලකයයි. නමුත් ඔවුන් රූකඩයක් වන්නේ සිහින් සිරුරැති, අගනා රූ සපුවකින් හෙබි, පතිවෘත්තාවෙන් අග තැම්පත්, සුකුමාල තරුණියකට නොව, “රාත්තල් තුන්සීයකට වඩා බර, කසාද දෙකක්ම කැඩිච්ච, අවුරුදු තිස් අටක ගැහැණියකට” ය.

“මට ඕනෙ පිරිමියෙක් කියල කවුරු හරි රූකඩයක්...මේ එක එකාලගෙ කටවල් වහන්න...ඔයා මට රූකඩයක් වෙනව නේද?”
“හා.... මං ඔයාට රූකඩයක් වෙන්නන්....”

ඒ රාත්තල් තුන්සීයේ ගැහැණිය එම ෆැන්ටසි ලෝකයට අතිශය ප්‍රියතාවයක් දක්වයි. කොටින්ම ආදරය නොඅඩුව ලබා දෙන විකීට මෙන්ම, වැඩිය දඟලන්න ආවොත් අඟල් අටම මස් පර්වතේ ඇතුලට බස්සන බවට තර්ජනය කරන විකීට ද ඇගේ ලෝකය තුළ ඉඩ ඇත. තම ජීවිතය තුළ කිසිදු පිළිසරණක්, පිළිගැනීමක්, ආදරයක් නොලැබූ, නිරතුරු සමාජයේ ගැරහීමට ලක්වන්නා වූ තැනැත්තියකගේ ෆැන්ටසි ලෝකය තුළ ඇයගේ ජීවිතයට යම් හෝ පිළිගැනීමක් ලබා දෙන පුද්ගලයකුට පවතින ඉඩකඩ එබඳුය. ඒ ඇය ආශා කරන විදිහ විය යුතුය. පැමිණෙන නොයෙක් කම්කටොළු වලට ද ඇය "සතුටින්" මුහුණ දෙයි.
ඇය ෆැන්ටසිය තුළ හෝ විකීලා වෙනත් ගැහැණියකට ලංවීම නුරුස්සයි. එවැනි අවස්ථා කඩාකප්පල් කිරීමට උපරිම වෙර යොදයි. ජීවත් වන ෆැන්ටසි ලෝකය තුල එය වඩාත් පහසුය. එවැනි ලෝකයක් තුළ කතාව ගොඩ නගන්නේත් කතාව ගලාගෙන යන්නේත් කතාවේ අවසානය තීරණය කරන්නේත් තමාමය. ත්‍රිත්ව මිනීමැරුමකට වුව සම්බන්ධවීම එතරම් අපහසු නැත. මවාගත් ලෝකයක ජීවත් වීම එතරම් "විචිත්‍රය".

අසන්ධිමිත්තා ගේ ෆැන්ටසි ලෝකය තුළ පමණක් නොව සෑම විටම ගැහැණුන් මෙබඳු ය.

"ඕගොල්ලො හරී….කැමතියි නේද ගෑණුන්ගෙ කතා අහගෙන ඉන්න"

චිත්‍රපටයේ එන චිත්‍රපටකරුවාගේ (ශ්‍යාම් ප්‍රනාන්දු) බිරිඳගේ (යශෝධා විමලධර්ම) නුරුස්නා බසින් පවසන්නේ එයයි. ගැහැණුන් තුන් දෙනෙකු මැරූ මහ විශාල ශරීරයකින් හෙබි, පාසල් කාලයෙන් පසුව කිසිඳු සබඳතාවක් නොතිබූ අසන්ධිමිත්තාගේ කතාව පසුපස ඔහුට යාමට සිදු වන්නේ ද තම බිරිඳගේ දැඩි ප්‍රතිරෝධය මධ්‍යයේය.

මෙම චිත්‍රපටය ගිය වසරේ ස්වර්ණ පුස්තකය ලෙස සම්මානයට පාත්‍ර වූ “අප්පච්චි ඇවිත්” කෘතියේ රචක සමන් වික්‍රමාරච්චිගේ “අසන්ධිමිත්තා” කෙටි නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවකි. මා එය මෙතෙක් කියවා නැත. එබැවින් මෙහි අන්තර්ගතය සසඳා බලා වඩා හොඳ නව කතාව ද චිත්‍රපටය දැයි විමසා බැලීමේ හැකියාවක් මා හට නැති වීම වාසනාවකි. කෙසේ වුවද සිනමාවේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ප්‍රේක්ශකයෙකු වශයෙන් වුවද, මෙය මෑතක සිංහල සිනමාවේ බිහිවූ විශිෂ්ඨ නිර්මාණයක් බව නම් කිව යුතුය.

අසන්ධිමිත්තා මහජන ප්‍රදර්ශනයට මුදා හැර තවමත් දින කිහිපයකි. එබැවින් තව තවත් විස්තර පැවසීම එතරම් සුදුසු නැත. සිය ප්‍රථම සිනමා රංගනය ඉදිරිපත් කරන නිල්මිණි සිගේරා අසන්ධිමිත්තාගේ චරිතය තුල ජීවත්වන ආකාරය, හැඟීම් ප්‍රකාශ කරන ආකාරය විශිෂ්ඨය. ධර්මප්‍රිය ඩයස්, ඩබ්ලිව්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු සහ යශෝධා විමලධර්ම ගේ රංගනයන් පිළිබඳ අමුතුවෙන් පැවසිය යුතු නැත. අනෙකුත් චරිත ඉදිරිපත් කරන සියළු රංගන ශිල්පීන් ද අසන්ධිමිත්තාගේ කතාව කම්පනයක් මුසු හැඟීමක් සමඟින් අපගේ මනසට ලබා දීමට සිය උපරිම දායකත්වය දක්වා ඇත. අශෝක හඳගම නම් වූ අති විශිෂ්ඨ සිනමාකරුවා මේ සියල්ල මෙහෙයවා ඇති ආකාරය අපූරුය. චිත්‍රපටයේ රූප රාමු මනසේ රැදෙමින් සිතන්නට ඉඩ සළසන ආකාරයේ ය. එබැවින්, මෙය නැරඹිය යුතුම චිත්‍රපටයකි. චිත්‍රපටය ප්‍රදර්ශනය වන සීමිත චිත්‍රපටශාලා සංඛ්‍යාවෙන් එකක් සොයාගෙන ගොස් හෝ නැරඹිය යුතුම චිත්‍රපටයකි.

සැමියන් දෙදෙනෙක්, ත්‍රිත්ව මිනී මැරුමක් හා ඒ හා සබැඳි සිද්ධි දාමයක් අසන්ධිමිත්තාගේ ෆැන්ටසිය තුළ ද, අසන්ධිමිත්තාගේ කතාව නවකතාකරුගේ ෆැන්ටසිය තුළ ද, නවකතාකරුගේ පරිකල්පනය චිත්‍රපටයක් ලෙසින් අපගේ ෆැන්ටසිය තුළ ද පෙලගස්වා ඇති අසන්ධිමිත්තා සැබැවින්ම ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියක ෆැන්ටසියකි.

“හැබැයි රජෝ මට රෝන්දෙ යන්න හිතුනම ඔන්න මං යනවා.... කාටවත් බෑ ඒක නවත්තන්න....”

- දිනූෂ ජයසිංහ (2019.03.25)

Monday, March 25, 2019

අපි නැති අපේ කතාව

අපි දෙන්නා
අපේ කතාවෙ
ප්‍රධාන නළුවා නිළිය
හැබැයි,
ඒ කතාවෙ
දර්ශනයක් නෑ
කිසිම තැනක
අපි දෙන්න
එකට රඟපාන.....

"ඔව් ඒ ෆිල්ම් එක
අමාරුයි තේරුම් ගන්න"

Thursday, March 21, 2019

අපේ පාට හීන

හීන ලස්සන වෙන්නෙ
පාට කෙරුවමලු
ලස්සන ලස්සන පාටින්
අපිටම ඕනෙ හැටියට

හැබැයි,

හීන පාට කරන්න
පාට දෙක තුනයි
ලැබෙන්නෙ අපිට
අපි කැමතිත් නැති

ඒ උනත්,

අකමැති පාට එක දෙක
එකකට එකක් එක් කර
පුළුවන් පුළුවන් හැටියට
හදමු පාටවල් අපි කැමති

ඊට පස්සෙ,

ලස්සනම ලස්සන නැතත්
පාට කරමු අපේ හීන
අපි හදපු අපේ පාටින්
කවුරුවත් කැමති නැති



Wednesday, March 20, 2019

වෙරළ සඳ දියෙන් තෙමන උදයක

පහලොස්වක සඳ
වෙරළ සඳ දියෙන් තෙමන උදයක
ඔබ ගැන මතක
ගැලපුන අයුරු පුදුමයි

දහස් වර මිමිණූ
දුක්බර මසිත සැනසූ
දුකේදී දෙතොලතර රැඳවූ
"සුදු ඇඳගෙන සඳ" පැමිණි හැටි පැවසූ
ගීය මතකද සොඳුරූ

නොසිතුවෙමි කිසිදා
නොපැතුවෙමි කිසිදා
මුමුණන්න ගීය ඔබ නමින්

නමුත් මුමුණමි
ඔබ නමින්
වෙරළ සඳ දියෙන් තෙමන
පහලොස්වක දිනක උදයක

උරහිසේ හිස හොවා
ගී අසන්නට
කිසිවෙකුත් නෑ, මා තනියෙන්

Tuesday, March 19, 2019

දුක් ගී අසනු සිත් වී

මගේ ගිටාරය රැගෙන
යන්න එපා නුඹ ඈතට

තත් බිඳෙන හඬ නැතිව
ඉකි බිඳුම් සමඟින් පමණක්
ගැයෙන ගී හරි ලස්සනයි
නුඹ පැවසුවා මතකයි

දුක් ගී අසනු සිත් වී
එකම වස්තුව උදුරා රැගෙන
ඈතට නොයන් නපුරී

බිඳ දමා හෝ සියළු තත්
ගිටාරය දෙන්න ආපසු
තත් බිඳෙන හඬ නැතිව
ඉකි බිඳුම් සමගින් පමණක්
ගයන්නන් දුක් ගී........

Monday, March 18, 2019

නිහඬ

දුව පැන නටන
දෑසින් හිනැහෙන
ඉඳහිට රවන
ආයෙත් හිනැහෙන
බෑ ඉවසන්න
ඔබ ඇයි නිහඬ

Sunday, March 17, 2019

හිස් නොමැති හිස් රඟහලක

රඟහල සිසාරා බැලීමි
ඔබම මිස කිසිවෙකුත් නොදිටිමි
නොහඬා හඬන ඇස්
නොදකින්නට නොබැලීමි
හිස් නොමැති හිස් රඟහලක
රඟපෑමි
හිස් රඟහලක වෙහෙසකර රංගනය
නිමාකලහැකි දෙබසක්
පිටපතේ නොතිබෙන්න ඇති
රඟහල හිස් වුව
රංගය නවතනු නොහැක!

Saturday, March 16, 2019

ඔබ

ඔබ

මගේ ජීවය උදුරා ගනිමින්
පද පේලි ජීවයෙන් පුරවන්නී

Friday, March 15, 2019

ඉතින් ඉඩ ලද සැනින් හිනැහෙමු

දුක් සුසුම් සෝ කඳුලු අතරට
එක හිනාවක් මහමෙරක්
කටු අකුල් ගිරි දුර්ග ගමනක
පවස නිවනා දිය බිඳක්
සිනාසෙනවුන් මරා දමනට
බලා සිටිනා නොමිනිසුන්
ඉතින් ඉඩ ලද සැනින් හිනැහෙමු
නොගැලපෙන මොහොතක උනත්

Thursday, March 14, 2019

ඒ රිදුම් බල බලා හිනැහෙන්න

අලුත් දවසකට
හිරු පායන්නෙම
මා පෙළා
හද දවා
පළිගන්න
මා හඬන හැටි බලා
හිනැහෙන්න
උදෑසන හිරු කිරණ
හීන් ඉදිකටු වෙලා
හදවතට තුඩින් ඇණ
රිදවන්න
ඒ රිදුම් බල බලා
හිනැහෙන්න

Wednesday, March 13, 2019

හොරු ගෙනිහින්

මතකද ඒ රෝස පැලය
එකම එක මලක් විතරක්
හැමදාම පිපිල හිනැහිච්ච
ලස්සනම ලස්සන

මතකද ඒ රෝස මල
එක එක දවසට
එක එක පාටට
බිම බලාගෙන
හිනැහෙච්චි ලස්සන

හොරු ගෙනිහින්
අද නෑ .... රෝස පැලය

මාත් ඇන්නෙ පපුවටම

ඔව්,
මේ ඒ තුවාලය
තවම උණු ලේ ගලන
හදවත පසාරු කල

ඔව්,
එයාටත් තුවාලයි
මාත් ඇන්නෙ පපුවටම

කළුවරට කණවැළ අල්ලන වචන

මූසල රාත්‍රියක
සිහින් ඉකි බිඳුම් හඬ
මහළු විදුලි පංකාවක
චිරි චිරි හඬ එක්ක
එක්ව මවන ශෝක රසය
තනි රකින හැටි ආදරෙන්

එතරම්වත් "ගැළපීමක්"
මුලක් මැදක් අගක් නැති
මේ වචන
කළුවරට කණවැළ අල්ලාවි

දුකට ලියන පද වලට
එළිසමය පද විරිත් කුමටද?
දුක බෙදා ගන්න
ලඟ හිටියනන් ඇති

Tuesday, March 12, 2019

පරිස්සමින් ගිය වග පමණක් මට පවසන්න


අඳුරු කුටියක
දැඩි රිදුම් සහිතව
අඩපණ කොට
අතරමං කොට
අගුලු ලා සිරකොට
නුඹ
නික්ම යන අතර මග
නෙක වර්ණ මායාවන්
හමුවේවි
හැරීවත් නොබලන්න
නුඹේ රෝස සිහිනයට
පමණක්ම
නුඹ යන්න

පරිස්සමින් ගිය වග පමණක්
මට පවසන්න

ඒත්
එලෙස පවසන්නට
නුඹ ආපසු පැමිණ කොහොමද
නුඹ පැමිණියද
මා මියගොස් සිටිනු ඇත
අදුරු කුටිය තුල
දැඩි රිදුම් ඉවසාගත නොහැකි තැන

සිනිදු කඩදහියක
පරිස්සන් කල බලි රූප ටික
මගේ තනියට
තනි රකිනු ඇත...........

සතුටු වන්නට නොව

මා රිසි මට අහිමි
එකම වස්තුව
නුඹම පමණයි
අනේ
පෙනෙන මානයේ නවතින්න
සතුටු වන්නට නොව
දුක් නොවී ඉන්න

Monday, March 11, 2019

සොඳුර නුඹෙ වදනකින්

දිය පවස දුරු වේවි දිය බිඳක් ලැබුනොතින්
කුස ගින්න නැති වේවි ලැබෙන සුලු අහරකින්
දා බිඳිති වියැකේවි සිහිල් මද පවනකින්
දුක් කඳුලු වියලේවි සොඳුර නුඹෙ වදනකින්

Sunday, March 10, 2019

එපා එපා ඔබ එන්න

කවදාවත්ම බෑ මට
ඔබේ වෙන්න
ඔබ ලඟ මියෑදෙන්න

කවදාවත්ම බෑ නුඹට
මගේ නොවෙන්න
මගේ හිතින් යන්න

කවදාවත්න බෑ අපිට
අපේ වෙන්න
තුරුල්ව කඳුලු සලන්න

මා මියෑදුනු මතු දිනක
එපා එපා ඔබ එන්න
එපා එපා කඳුලු සලන්න

Saturday, March 9, 2019

කඳුලු අවසන

දෙනෙත් මේ අහපං
මේ දේ හොදින් හිතටගන්
අඬනකොට  හරි පරිස්සමින් අඬපං
කඳුලු පරිස්සන් කරපන්

තවම හෝරා කීපයයි
ඈ මා හැර ගිහින්
තවමත් හෝරා කීපයයි
නිදි නැති රැයට දෙකට
ගැලූ කඳුලු අපමණයි

ළය පැලී මා මිය නොගියොතින්
ළය කැපී රුහිරු ගලන තුවාලය සමගින්
නොදනිමි තවත් කොපමණ කළක්
ගෙවන්නට වේදැයි
වසරක් දෙකක් නොව ජීවිත කාලයක්

ඇය රැගෙන ගිය ජීවිතය
ඇය මට නැවත නොදෙනු ඇත
ඇයට මට නැවත එය දෙන්නට
කිසිවෙකුත් ඉඩ නොදෙනු ඇත
ඈ සතුට පමණක්ම පැතූයෙන්
කඳුලු පමණක්ම උරුමව ඇත

මම මුළු ලොවට වෛර කරමි
මම මුළු ලොවට වෛර කරමි
මම මුළු ලොවට වෛර කරමි
මම මටම වෛර කරමි
නමුත්,
එය කඳුලු ලෙස පමණක්ම පිට කරමි

ඉඳින් දෙනෙත්,
කඳුලු පිරිමහපං
වේදනාව කිසිදා සුව නොවෙනු ඇත
කඳුලු අවසන මා මියෙනු ඇත
ලෝකයක් සතුටු වෙනු ඇත
ඇය පමණක් දුක් විය යුතු නැත......

Friday, March 8, 2019

ගබ්සා කළ ප්‍රේමය...!!!


උන් ඇහැට විස නිසා ප්‍රේමය
පුන් කුසුම් පෙති නුදුටුවෝ
විස කටුම දැක දැක බිය විය

විස කටු වැනසුවැයි තුටු වෙමින්
මල් නටුව වනසා ගී ගැයුවෝය

විස නසනු යැයි මල් නසා
ප්‍රේමයක් උන් ගබ්සා කළෝය

                                         දිනුෂ
                               (දුක්බරම මොහොත ගලපන්න වෙහෙසෙමින්)

Thursday, January 17, 2019

ඈ නොකියාම වෙන්වුනා

දම් පාට වෙරළ ඉම
සුදු පාට වැලි අහුරු
එක් කරන් මා තැනූ
මාලිගාවක් ඔයා

කලු පාට කණ්නාඩි
රතු පාට ඇස් වසා
නුඹව නොපෙනෙන ලෙසට
මගේ ඇස් බොඳකලා

සුදු පාට කහ ඉරෙන්
රතු එලිය තියෙද්දිම
පාර පැන ඈ මගෙන්
නොකියාම වෙන්වුනා

2019.01.15

Sunday, January 6, 2019

සොඳුර නුඹ මට අහිමිමුත්............

සොඳුර නුඹ යනෙන මග
තැන තැන නොව, සැමතැන
රුදුරු වන සතුන් වෙත්
කල්පනාවෙන් නිතර

සොඳුර නුඹ යනෙන මග
නෙක මල් දකින, විසිතුරු
සැම නොව, බොහොමයක් විස
මකරන්ද රස නොබලන්

සොදුර නුඹ යනෙන මග
බාධක පවුරු ගැරහුම්
නිතර නොවුනත්, ඉඳහිට හමුවුණත්
නොසලකන්, එයයි යහපත්

සොඳුර නුඹ යනෙන මග
හරි පරිස්සමින්නි, තර විමසිල්ලෙන්
යන එකයි වැදගත්
...... .....

2019.01.06

Tuesday, January 1, 2019

ආදරය

සඟවනා කඳුලින් දුටිමි
ආදරය සඟවනු බැරී
ගොළුවෙනා වදනින් ඇසුනි
ආදරය පවසනු බැරී

2019.01.01