නුඹ ලඟම හිටියත්
නුඹ දුරින් හිටියත්
නුඹ ආදරේ කීවත්
නුඹ වෛර කෙරුවත්
ජීවිතේ එකම එක දෙයක්
හැමදාම උරුමයි
"මඟබලාසිටිමි"
කිසිම දිනක "නොඑන" නුඹ වෙනුවෙන්
මම "මඟබලාසිටිමි"....
රිද්ද රිද්දා හිතක් හඬවන හැඬවෙන අරුමය
දෑස් අග තෙත් වෙමින් ආදරය ඉකි ලන යාමය
රාත්‍රිය කියන්නෙම නුඹ සොයා හිත දුවන කාලය
ඒ වුණත් මගේ හිත හති නොවැටෙන එකයි අරුමය
මට හිතෙන්නෙම ආදරේ දුකට ගැලපෙන පදයක්
ඉඳ හිටෙක හිනැහුණත් හිනැහෙන්නවත් බෑ නේද කොහොමත්
ඒ වුනත් ආදරය, කරන හැටි ජීවිතය ජීවත්
නොදන්නා වුණත් නුඹ, ඒක ඇත්තම ඇත්තක්
ගොරව ගොරව මේ වගේ වහින වෙලාවක,
අහසෙ රතු පාට විදුලි එලි පිපිරෙන වෙලාවක,
එයාවම මතක් වෙන එකනන් හරිම වදයක්.....
අඩුම ගානෙ,
කෝල් එකක් දෙන්න,
මැසේජ් එකක් යවන්න තරන්වත් ලඟ හිටියනන්.....,
පරිස්සන් වෙන්න,
සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න,
ඉලෙක්ට්‍රික් බඩු අල්ලන්න එපා,
ඇඳ උඩට වෙලා ඉන්න,
යකඩ පිහි, කතුරු වලින් වැඩ කරන්න එපා,
එළියෙ යන්න එපා,
දොරවල් ජනෙල් වහගෙන ගේ ඇතුලෙම ඉන්න,
තෙමෙන්න එපා....කියල කියන්න හරි තිබ්බා......,
ලඟටම වෙලා,
සීතලේ ගුලි වෙලා ඉන්න,
කරුවලේ සින්දුවක් කියන්න, ගොරවන සද්දෙට බය වෙනකොට හිනා වෙලා තරහ අවුස්සන්න,
උණුවෙන් කෝපි එකක් හදල දෙන්නම එක කෝප්පෙන් බොන්න,
ජනේලයක් ලඟට වෙලා වැස්ස දිහා දෙන්නත් එක්කම බලාගෙන ඉන්න, තිබුණෙ නැතත්...........
කොතන හිටියත් පරිස්සන් වෙන්න ඕනෙ කියන එක විතරක් අමතක කරන්න එපා.....
...... .....
විටෙක නුඹ භාවනාවක්මැයි
සිත නිවන, සනහාලන
විටෙක චන්ඩ මාරුතයක්ව
හද දවන, පෙළන
විටෙක නුඹ ගීතයක්මැයි
හදවතේ හඬ හා එක්ව වැයෙන
තත් බිඳී සිත් බිඳින දින
අන්දකාරව දවන ජීවිතය
නමුදු නුඹ,
අවැසිමය........
සොඳුර දැක්කද අර ඈත පේන කන්ද
උජාරුවට ඉන්න හැටි නොසෙල්වී ඒ කන්ද
මගෙ හිතෙත් විසාලෙට පිරිල එක එක ප්‍රශ්න
කන්දක් වගේ උන්නට අඬනව හිත ගොඩක් මැණික
දුක හිත්තවනකොට ගොඩක් මගෙ මැණික
කන්දක් උනත් ඉවසගෙන ඉන්නෙ කොහොමද
හරි තදට වැස්ස දවසක එක්තරා හවසක
කන්දෙන් අඩක් නාය ගියෙත් ඉවසන්නම බැරි දුකට
මුල් විසිරිලා ආදරයෙන් සිප ගත්ත
පස් කඳු දිය නොවී කන්දක් රැක ගත්ත
නිහඬව කන්ද දිය වෙන එක නැවැත්තුව
රැකවරණය වෙන්න මහ කඳු රැක ගත්ත
රිදුම් එකිනෙක එක මිටට ගෙන
විසි කරමු අර කන්දෙන් පහලට
ඉතින් එතකොටවත් අපිට
හැකි වේවි වරක් හරි හිනැහෙන්න
දුක හිතෙන තැන් ඔබට ලියා එව්
කවි පොතේ පිටු එකින් එක ඉරමු
අර පේන දොළ පාරෙ පා වෙලා
ගසාගෙන යනු බලා සිනාසෙමු
"ආදරෙයි මහ ගොඩක්" ලියා එව්
කඩදහිය නුඹ පෙමින් නිති රකින්
මට දෙන්න ගුළි කරමු නොපෙනෙන්න
විසි කරමු කන්දකින් පහලට
දැන් ඉතින් නුඹ හදයි මාවත්
කක්දකින් පල්ලෙහට
ගලන දොළ පහරකට
විසි කරල සැනසෙන්න.....
මම සැනින් ගොඩ එමි
නුඹ කරා දිව එමි
දුක යවා හනිකට
නුඹ සමඟ හිනැහෙමි
ආදරය පවසමි
කුඩුපට්ටම් වෙලා යන්න තරමට ඔලු කට්ට
පිළිවෙලක් නැතුව මතකයන් පනිද්දිත් දොට්ට
ඉඳ හිටලවත් ඔබ මං ගැන හිතන චුට්ට
පුරවනවා කවි නුඹ නමින් පිට්ටෙන් පිට්ට
නුඹ නමින් ආදරය හිතේ තෙරපෙමින් ඇත සත්තයි
නුඹ කඳුලු හෙලන වග හිතෙන විට ජීවිතය තිත්තයි
ඒ නමුත් සමුදෙන්න බැහැ හිතම හරි නිස්සද්දයි
නුඹේ හඬ කණට නෑසෙද්දි හිත යළි යළිත් රිද්දයි
බිළි ගන්නවානන්
බඹරකුව හෝ
නුඹ සොයා එන්නම්
කවදාක හෝ දිනක
රොන් සොයා ඇවිදින්
මල් තලා තිබුණිනම්
මේ රිදුම් ඉවසම්
ආදරය පමණමයි
අයදින්නෙ තාමත්
බඹරෙකුද නැතිද වග
නුඹ හිතින් අහපන්
මියෙන්නට තැවෙමින්
රැඳෙන්නට රැකෙමින්
බඹරෙකුට හැකිනම්
"බඹරෙකු"ද කිසිවෙක්
බාඳුරාවක් වෙන්න
මාව බිලි අර ගන්න
කවුරුවත් ඇහුවොතින්
බඹරෙක් ය පවසන්න
මේ තරම් ජීවිතය විඳවන වදන්
මේ තරම් ආදරය, ගෙන ආ රිදුම්
ඉවසිය නොහැකි වේදනාවක ගිලවන වෙනස්කම්
මොනවා කොහොම කවදා සිදු වුනත්
අත් හැරිය නොහැකි ආදරයක්
මහත් ලොබ බැඳ රැකිය යුතු ආදරයක්
වෙන්ව යන්නය ඉඩ නොදිය හැකි
හඬමින් පසුපස පැමිණිය හැකි
ඇබ්බැහි වී අත්හැරිය නොහැකි
රිදුම් තුවාල ලේ ගලා ගිය මුත්
නුඹ ලබා දුන් මොහොතක ආදරය වුව
යලියලිත් අවැසි වන තරමට
නොදැනී ජීවත් විය නොහැකි තරමට
හදවතටම කිඳ බැසගත් ආදරයක්
එක් වරම අහිමිකර
ජීවිතය අතරමග තනිකර
මත් වූ ජීවිතයක් උරුම කර
ආලෝකයට පිළිස්සෙන, පිලිස්සෙමින් ඒ මතටම ඇදෙන
පළඟැටි ජීවිතයක් උරුම කල
නුඹේ ආදරය
අවැසිය තාමත්
අත් හළ නොහැක
මියෙනා තුරා වත්
මරණයෙන් මතුවටත්
බැඳී ඇලී රිදුම් දෙන ආදරය
අවැසිය
අයදිමි
හඬමි
රිදුම් දෙන ලේ පෙරෙන හදවතක අත දරා
ජීවිතය අයදිමි
ආදරය අයදිමි
රිදුම් පිරිමැද මදක් සනසන්න
රිදුම් පිරිමැද ජීවිතය යලි දෙන්න
ප්‍රේමය නුඹේ
සරසාවි ජීවිතය
ප්‍රේමිය නුඹ
ජීවත් කරනු මැන මොහොතක් තවත්
හදවත පසාරා තද කොට
මරා දමා ආපසු නොහැරෙන්න
ජීවිතය යලි දෙන්න
ණයගැති වෙමි
දැනටත් ණය ගැති වුවත් නුඹේ ආදරයට
කිසිදා නොලද ප්‍රේමය
මොහොතක් හෝ නුඹගෙන් ලදිමි
ඒ ආදරය
මා සිහි විකල් කොට ඇති සෙයකි
අයදිමි
ජීවිතය අයදිමි
ආදරය ඉල්ලමි
හිනැහි හිනැහී ගෙවන්නට නොහැකිව ජීවිතය
දුටුවාද තරුවක් කඩා වැටෙනා'යුරු තනියෙන්ම
පිපුණාට මල් පොකුරු සුදු පාට උදයේම
අරලිය මලක් බිමට වැටුනෙත් තනියෙන්ම
රිදව රිදවා නුඹ හද පෙළන මොහොතක
හඬව හඬවා ම'සිත නුඹ සතුටින්ද
විඳව විඳවා දෙතැන අපි මෙයැදෙමුද
තැවුල් හංගා හිත නිවන ආදරය නුඹ නේද
ආදරය කියන්නෙම ජීවිතය
ජීවිතය කියන්නෙම නුඹ නේද
නුඹ නොමැති තැන කොහිද ආදරය
ආදරය නැතිව කිම ජීවිතය
ප්‍රේමය කුසුමකි සුවඳ විහිදුවන
ජීවිතයට ජීවිතය කියා දෙන
ආදරයෙන් ලඟ ඉන්නා සැම දින
සිත සැනසුම ගෙන දෙන හැටි අරුමය
නුවණ් පිරී ගිය කඳුලු පිසින්නට
සවන් පිරී ගී හඬ විහිදෙන්නට
දෙහදක සිතුවිලි එක් වන මොහොතට
හැකිය සියලු දුක් අමතක කරනට
නුඹයි කඳුලු බිඳු දිදුලන සඳ එළියේ
මවයි වේදනා නිදි නැති රාත්‍රියේ
පෙමක් අහිමි වන දුක් බර නිමේෂයේ
කුරිරු හැඟුම් ගෙන නොම එන් කුමාරියේ
සිහින බොඳ වී යන්න මත්තෙන් මගෙන් නුඹ වෙන් වී
වරක් හිනැහී හිත නිවන්නට වත් නේන බව සිහිවී
නුඹව මැවි මැවි මැවෙන සිතුවිලි රාශියක සිරවී
ගතින් පණ රැකුණත් සිතින් මා බොහෝ කල් මියැදී
සුන්දරම රුව කෙමෙන් මා හට අහිමි නොම වේ නම්
මං මෙතැන නැවතී නුඹ එතැයි තව බලන් ඉන්නම්
සවන සනසන මිහිරි වදනින් ආදරෙයි තවම
අහන්නට හැකි වුනොත් සතුටින් මියෙනු හැකි නොවෙද
ඇවිත් යනවද එක මොහොතකට රාත්‍රිය අඳුරුයි
රුදුම් පිරිමැද සිත නිවන්නට හැකි නුඹට පමණයි
නුවණ් තෙත් කල වේදනාවක අරුත ඒ නුඹමයි
ලවන් සනහන ගීතිකාවක පවස හද රිදවයි
විටින් විට සිහිවෙද්දි නුඹ හා මැවු හීන අහසේ
සිතින් සිත වෙන් නොවී ඉන්නට පෙම් වදන් අස්සේ
නෙතින් නෙතවත් මුණ ගැහෙන්නට නොහැකි වී ඇත්තේ
අතින් අතවත් නොගෑවී පෙම් කලේ නුඹ මත්තේ
රුවින් අග තැම්පත් අහිංසක නුඹ භාවනාවක්
සිඳින්නට බැරි තරම් සිත මත රැඳි වේදනාවක්
සැනින් පැමිණී සිත නිවන්නට හැකි ගීතිකාවක්
සවන් සනසනු මිහිරි වදනින් යලි එක් වතාවක්
මට ද මම අත හැරෙන මොහොතක
නුඹට මා අත හැරෙන හැටි පුදුමයක් වෙන්නේ කොහොමද දිනක දී
නදිය ගල් පර පසුකරන් සයුර සිප ගත් මොහොතෙදිත්
ඈත කන්දෙන් පැන නැගී හිනැහි හිනැහී
පැමිණි වග කාටනම් අමතක කළැ'කිද හිතවතී
රෑක කළබල පාරක නිහඬ සිතුවිළි ගොන්නක
මිරිකි මිරිකී නුඹ ගැනම මා ලිවු වැකී
නුඹ නොතේරුම් ගත්තද උරණ වී
වේදනාවේ දුම් පොකුරු පෙනහලු පුරා සැරි සරද්දිත්
වෙවුල වෙවුලා නුඹව සොයමින් කෑ ගසා හැඬුවෙම්
සීත රැයකට සමු නොදී
ජීවිතය මෙතරම් බයෙන් ගත කරන තවත් කාලයක් තිබී නැත. නුඹ අහිමිවේ යැයි බියෙන් මෙලෙස ජීව්තය ගත කිරීම මහත් වූ වෙහෙස දනවන්නකි. ඒ සඳහා පිළියමක්ද මා හට නොවැටහේ. නුඹේ හඬ වරක් ඇසීමෙන් පමණක්ම වුව තවත් කාලයක් ජීවත් වීමට ශක්තිය ලැබෙන බව නුඹ හොඳින් දැන සිටිනා බවද දනිමි. සොඳුරිය, නුඹේ වදන් සවනත වැකෙන තුරා මා බලා හිඳිමි. 🙏🙏🙏
ආදරය උපරිම දැනුණු තැන නැවතීම අරුමක් නොවේ. ආදරය උපරිමව දැනුණු හදවත රැක ගැනීමට වෙහෙසීම අරුමයක් නොවේ. එවන් හදවතක් හැරයාමට උත්සාහ කිරීම දරා ගත් නොහැකි හැඟීමක් ද නොවේ. ජීවිතයේ කිසිදා හිමි නොවන බලාපොරොත්තු තිබිය හැක. එවන් බලාපොරොත්තු මත මිනිසු ජීවත් වේ. බලාපොරොත්තුව පවා විනාශ කර දැමීම කිසිවෙකුටත් කිසිමදාකවත් දරා ගත හැකි දෙයක් නොවේ. ඉතින්, ජීවිතයක් අතරමග අතරමං කර නික්ම යාම කාටනම් දරාගත හැකිද? එබැවින් නැවත නැවතත් ඉල්ලමි.
නොයන් සොඳුරිය වෙන් වී සිතින් නිතරම පතනෙමි
නෙතින් නොදුටුව'මුත් හදේ සිටිය යුතු බව අදහමි
අයදිමි නුඹෙන් ඉල්ලමි ආදරය යලි අයදිමි
අහම්බෙන් වගේ මා ජීවිතේම නුඹ අරක් ගත්
පාලු සොහොන් පිටියක්, කෝ නුඹ නැති තැන සතුටක්
රිදෙන රිදෙන වදනින් නුඹ තලා පෙළා දැමුවත්
නුඹට බැඳුණු සිත කිසිදින වෙන් වෙන්නට අසමත්
ජීවිතයක් තනිකර දා යන්නට සිත් පාරා
දැනෙන දැනෙන හැම මොහොතක ගලයි කඳුළු දාරා
හුස්ම පොදත් නවතින්නට ගලමින් ලේ රූරා
ගලන හෙලන කඳුළු බිංදු වාගෙයි දිය සීරා
රිදිම් ඉවසිය යුතු බැව් දනිමි
නමුදු මෙතරම් රිදුම්
ඉවසිය හැකිද පණ ඇත්තෙකුට
ඉවසිය නොහැකි තැනක තැවෙමි
නුඹට නොහැඟෙන ගුප්ත හැඟීමක නිමග්න වෙමි
මම කවුදැයි නොදන්නා නොදැනෙනා තැනක
රැඳී ලතැවෙමි
නුඹ අවැසි බැව් පමණක්ම දනිමි
මරණීය වේදනාවක්
රමණීය ආදරයකින් මතුවන විරහවක්
රිදෙන තැනවත් නොතේරෙන රිදුමක්
රුදුරු ඇයි නුඹ මේ තරම්
නොදැනේ නොසිතේ කුමක් කරම්
අවිනිශ්චිත අනාගතයක අදුරක්
වෙලා මා ගත සිත මරණයේ සෙවනැල්ලක්
නුඹ ඇවිත් ගෙළ සිඳින සිහිනයක්
විසල් අහස් කුස තරමට ආදරක් ලදිම්
නිමක් නොමැති සයුර තරම් ආදරයක් දුටිම්
අසුරු සැනින් වෙන්වෙන්නට සිදු වන බව සැනින්
දැනෙන විටක ඉවසන්නට මටත් කියා
මා අතිශය භයානක සිහිනයක් දකිමි. එය සිහිනයක්ම මිස සැබෑවක් වන්නෙ කෙසේදැයි සිතමි තැවෙමි. මේ අති වේදනාකාරී අත් දැකීමෙන් මා මුදවා ගැනීමට හැකි එක අයෙකු පමණක් මෙලොව සිටී. ඇය පැමිණ මේ දකින වේදනාකාරී සිහිනයෙන් මා මුදවාගෙන වේදනාත්මක රිදුම් සුවපත් නොකළත්, ඒ රිදුම් කාලයත් සමඟ වියැකී යන්නටවත් ඉඩ දෙනු ඇතැයි තවමත් බලාපොරොත්තු වෙමි.
වසර ගණනාවක් පුරා වෙන කිසිවක් නැතත් මම ආදරය කර ඇත්තෙමි. ඒය ඇයට අමතකව නැතැයිද සිතමි.
ඔබ යලි එන තුරා දැවෙන හදවත ඉවසාගත නොහැකිව රිදුම් දෙයි.
ජීවත්වීමට ආදරය අවැසිය. ආදරය කරනනෝ එකිනෙකා කෙරෙහි අවදානය (attention) යොමු කිරීම ඒ ආදරයේ ලොකුම වගකීම සහ ආදරය ලබන්නාගේ ලොකුම බලාපොරොත්තුව බව මා විස්වාස කරමි. එම අවදානය ගිලිහී තම ආදරය විසින් තමා නොසලකා හරින තැනක ජීවත් වීම පවා අනවශ්‍ය දෙයක් බවට පත්වේ. එවන් විටෙක ඒකිනෙකාගේ දරා ගැනීමේ ශක්තිය ඉදිරිය තීරණය කරනු ඇත. ඒ සාමාන්‍ය ජීවීතයේ දරා ගැනීමේ ශක්තිය ලෙස වරදවා වටහා නොගන්න. ඒ ආදරයේ දරා ගැනීමේ ශක්තියයි.
මිනිස්සු තමට ඕනෙ දේවල් එපා දේවල් තීරණේ කරන්නෙ තමන් ගාව දැන් තියෙන දේවල් අනුව. ලොකු ලොකු දේවල් අලුතින් හම්බුනාම කාලාන්තරයක් ලඟ තිබ්බ පුංචි පුංචි දේවල් කුණුගොඩට වැට්නවා. සමහර විට ආයෙ නොපෙනෙන්නම පුච්චලා දාන වෙලාවලුත් තියෙනවා.
ඒත් ඒ පුංචි පුංචි දේවල්වලට කතා කරන්න පුලුවන්නන් කියයි ඒගොල්ලො කොච්චර ආසාවෙන් ආදරෙන් ද ඒ තැන හිටියෙ කියල. හැබැයි අලුත් ලොකු දේවල් ඉස්සරහ ඒ දේවල් තේරුන් ගන්න මිනිස්සු කැමති නෑ. තේරුන් ගත්තත්, ඒ තේරුන් ගන්න කාලෙට අර පුංචි දේවල් පේන්නවත් නැති වෙලා විනාශ වෙලා තියේවි.
එදාටවත් දුකක් නොහිතෙන්නත් පුලුවන් සමහරුන්ටනන්.....